පෙර ඇත් රජ මමයි


පෙර ඇත් රජ මමයි දා කරඩුව වැඩවූ...
ජන ගෞරව ලබා සිඛි දහසට යටවූ...
සිටිනෙමි කන්ද උඩරට දළදා මැදුරේ...
මිලන්ගොඩ නවම් මිණි නැත අද අදුරේ...

දළදා වඩම්වන්නට දළයන් නැද්දෝ...
දළදා පෙරහැරත් ඉදිරියෙ නැවතෙයිදෝ...
ඇතින්නියන් හට අප ඇප කැප නැද්දෝ...
වනයේ සිටියා නම් දරුවන් හදනවා ඇයිදෝ...



අර්ථ විග්‍රහය :

දා = ධාතුව  
සිඛි = මොනරා
දහස = 1000

රු.1000 නොට්ටුවේ මොනරෙක් සිටියි.එහි අනෙක් පැත්තෙහි "රාජා" ඇතාගේ රූපයක් දැකිය හැක.

කන්ද උඩරට = මහ නුවර
මිලන්ගොඩ = මිල්ලන්ගොඩ රාජා
නවම් = නවම් රාජා
මිණි = මැණික් = රුවන් = රුවන් රාජා

මිල්ලන්ගොඩ රාජා, නවම් රාජා , රුවන් රාජා යනු ධන්ත ධාතුන් වහන්සේ වැඩම කළ, රාජා ඇතාගේ සමකාලීනයන්ය.

දළදා වඩම් වන්නට දළයන් නැද්දෝ " .....
මේ වන විට සධාතුක කරඩුව වැඩම කිරීමට ඉහළම සුදුසුකම් ලැබූ ඇතුන් සිටින්නේ තිදෙනෙක් පමණි {ඉන්දු රාජා, නැදුන්ගමුවේ රාජා, කතරගම වාසනා}

"දළදා පෙරහැරත් ඉදිරියේ නැවතෙයිදෝ".....
එම ඇතුන් මිය ගියොත්, කරඩුව වැඩම කිරීමට සුදුසුකම් ඇති ඇතුන් නොමැතිව දළදා පෙරහැර නතර කිරීමට පවා ඉඩ තිබේ.

"ඇතින්නියන් හට අප ඇප කැප නැද්දෝ....
ඇතින්නියක් සමග වාසය කරන්නට දුන්නහොත්, ඇතැම් විට පැටවුන් කිහිප දෙනෙකුම ඇත් සමාජයට දායාද කිරීමට අවස්ථාව තිබිණි.

"වනයේ සිටියා නම් දරුවන් හදනවා ඇයිදෝ"......
මිනිස් සමාජයට නොපැමිණ වනාන්තරයේම සිටියා නම් පැටවුන් විශාල ගණනක් ලෝකයට දායාද කිරීමට හැකියාව තිබුණි.

දළදා කරඩුව වැඩම කළ හැක්කේ සද්ධන්ත කුලයේ ඇතෙකුට පමණි. කරඩුව වැඩම කිරීමට ඉහළම සුදුසුකම් තිබිය යුතුය. පිරිමි සතෙකු වීම, ඇතෙකු වීම, හොදින් වැඩුණු සිරුර, සෘජු හිස, හිස තේජවන්තව ඔසවා සිටීම, කරඩුව තැබීමට හොදින් සකස් වූ පිට, අලoකාර දළ යුගලය, එය ඉදිරියට නෙරා ඇති වීම, තැන්පත් නුවණින් යුතු උපශාන්ත ගමන, තීක්ෂණ බුද්ධියක් තිබීම, මැදි වයස ඉක්මවූ ඇතෙක් වීම (+40), අපේක්ෂා කරන ප්‍රමාණයට වඩා දළ දික් වීම, අපේක්ෂා කරන ප්‍රමාණයට වඩා උස වීම, හොඩවැල බිම පතිත වීම, වලිගය බිම පතිත වීම, කිසිදු භාහිර හා අභ්‍යන්තර දෝෂයක් නොතිබීම එම ලක්ෂණ අතර සමහරකි.

කරඩුව වඩම්වන රාජා හස්ථිරාජයාගේ තිබෙන ප්‍රෞඪත්වය පෙරහැරවලදී අප දැක ඇත. ඔවුනට උසස්, ඉහළම ජාන තිබෙන්නට ඇත. රාජා ජීවත්ව සිටින කාලයේදී, ඇතින්නියක් සමග මිතුරුවීමට සැලැස්සුවේ නම්, රාජා ඔස්සේ තවත් හීලෑ අලි ඇත් පැටවුන් කිහිප දෙනෙක්ම අලි ඇත් සමාජයට දායාද කිරීමට තිබුණි. ඒ අනුව අද සිටින හීලෑ අලි ඇතුන්ගේ ගණන තවත් 2කින් හෝ වැඩි වීමට ඉඩකඩ තිබුණි. ඒ අනුව ඇතැම් විට අද සිටින දළ ඇතුන් ගණන තවත් 2කින්ද වැඩි වීමට ඉඩකඩ තිබුණි. ඇතැම් විට ඔවුන්ගෙනුත් කරඩුව වැඩම විය හැකි ලක්ෂණ සහිත පැටවෙකුද සිටින්නට ඉඩකඩ තිබුණි. ඒ අනුව කරඩුව වැඩම කිරීමට සිටිනා ඇතුන් ගණන ඉහළ යෑමටද ඉඩ තිබුණි.

නමුත් රාජා වනයේ සිටියා නම් ඇත් පරපුරට අවම වශයෙන්වත් පැටවුන් දෙදෙනෙක් දායාද කරනවා නිසැකයි. මිල්ලන්ගොඩ රාජා යනු ආසියාවේ දිගම දළ ඇතාය. මිල්ලන්ගොඩ රාජාද වයසට ගොස්, රෝගී වී මිය ගියේය. නවම් රාජාද එසේමය. සන්ස්කෘතියටම යොදවනවා මිස අලි ඇත් පරපුරේ ඉදිරිය ගැන කවුරුත් සිතුවේ නැත. ඔවුනගේ උසස් ජාන ඔවුන් සමගම පොළවට පස් විය. ඔවුනගේ දායකත්වයෙන් පැටවුන් බිහි කළේ නම් ඒ පැටවුන්ද ඔවුනගේ ජාන අනුවම, ඔවුනගේ තේජවන්ත බව අනුවම සද්ධන්ත කුලයට අයත් වීමට පවා ඉඩකඩ තිබුණි.

අද ඉතිරි වී සිටිනා සද්ධන්ත කුලයේ ඇතුන් වන කතරගම වාසනා, ඉන්දු රාජා, නැදුන්ගමුවේ රාජා යන ඇතුන්ගෙන්ද මෙම අරමුණ ඉටු කර ගැනීමට තවමත් පමා නැත...
By : Danula

No comments:

Powered by Blogger.