ඇයි මම මස් මාළු නොකන්නෙ?

ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි "මම මසක් මාළුවක් තියා උම්බලකඩ කෑල්ලක්වත් කන්නෙ නැත්තෙ ඇයි?" කියන ප්‍රශ්නය. ප්‍රශ්නෙට උත්තරයක් දුන්නා විතරක් වුණා නම් මදැයි. ඒත් ප්‍රශ්නෙට උත්තරේ දුන්නම, තව කෝටියක් විතර ප්‍රශ්න අහ අහ පස්සෙන් එන එක තමයි ඉවසන්න බැරි.


ඒ අතරෙ ඉතින්.... "බුදු හාමුදුරුවො මස් මාලු නොකන්න කියලා නෑලු. ත්‍රිකෝටි පාරිශුද්ධියක් කියලා එකක් තියෙනවලු. දේවදත්ත හාමුදුරුවන්ගේ පංචවරය ප්‍රතික්ෂේප වුණාලු. ඕවා බොරු වැඩලු. සෞඛ්‍ය පිරිහෙනවලු. මිනිසා කියන්නෙ සර්වභක්ෂක වෙලා ඉන්නම බිහි වුණු සතෙක්ලු" වගේ දේවලුත් නිතරම අහගන්න ලැබෙනවා. ඉතින් ඒ ගැන නිකං කල්පනා කර කර ඉන්න එකේ හිතුනා, “මම මස් මාළු නොකන්නෙ ඇයි?” කියන ප්‍රශ්නය ගැන පැහැදිලි කරලා සටහනක් ලියන්න.


දැන් ඇයි උඹ ඔහොම මස් මාළු නොකා ඉන්නෙ?

මම මාංශ අනුභවය නතර කළේ 2009 අවුරුද්දෙ මැද කාලෙ වගේ. ගොඩක් අය හිතන්නෙ මම එහෙම පියවරක් ගත්තෙ බුද්ධාගමේ එහෙම තියෙන නිසා කියලයි. බුද්ධාගම කියලා ආගමක් නෑ. මේක ඇවිල්ලා දර්ශනයක්. ඒත් ඉතින් අද වෙනකොට අපේම අය මේක ආගමක් කරගෙන තියෙනවා.

බෞද්ධ දර්ශනය කියන්නෙ අවිහිංසාවාදී දර්ශනයක්. මේ දර්ශනය තුළ විශ්වයේ ඉන්න සියලුම සත්වයින්ට වගේම ඉපදෙන්න ඉන්න සත්වයින්ටත් මෛත්‍රිය, කරුණාව, ආදරය, දයාව දක්වනවා. පංචශීල ප්‍රතිපදාවේ පළවෙනි ශික්ෂාපදයම තියෙන්නෙ සතුන් මැරීමෙන් වැළකීමේ ශික්ෂා පදය ආරක්ෂා කරන්න දෙන ප්‍රතිඥාවක්.

හැබැයි බෞද්ධ දර්ශනය කියන්නෙ අන්තවාදී දහමක් නෙවේ. හරිම මධ්‍යස්ථයි. මේ දර්ශනයේ "නොකරන්න, වැළකී සිටින්න" කියලා තිබ්බට, කොයිම වෙලාවකවත් කියන්නෙ නෑ "නොකළ යුතුමයි, වැළකී සිටිය යුතුමයි" කියලා. මොකද මේ දහම කාටවත් බලෙන් කාවද්දන්න පුලුවන් දහමක් නෙවේ. තමන්ම අවබෝධ කරගන්න ඕන.

ඒ වගේම දහම් කරුණු ගැන ප්‍රශ්න කිරීමේ නිදහස තියෙනවා. සංවාද කරන්න පුලුවන්. වාද කරන්න පුලුවන්. පිළිගන්නෙ නැත්නම්, ඒකටත් සැබෑ බෞද්ධ දර්ශනය තුළ බාධාවක් නෑ. ඒ නිසා "සැබෑ බෞද්ධයෙක් නම්, ඔහු හෝ ඇය නිර්මාංශී විය යුතුයි" කියන මතයේ මම නෑ. ඒ වගේම මතක් කරන්න අවශ්‍යයි බෞද්ධ වේවා, අබෞද්ධ වේවා... මම, මස් මාංශ අනුභව කරන කිසිම කෙනෙක්ව විවේචනය කරලවත්, අපහාස කරලවත්, විහිළුවට ලක් කරලවත් නෑ.

මම මස් මාළු කන එක නතර කරන්න හේතු වුණේ සාමාන්‍ය පෙළ බුද්ධාගම අච්චු පොතේ තිබ්බ ගාථාවක් කියවලා, ඒ ගාථාව ගැන දවස් ගණන්, සති ගණන් හිත හිතා ඉදීමේ ප්‍රතිපලයක් විදිහටයි. ඒ ගාථාව සහ ඒකෙ තේරුම තමයි මේ පහළින් තියෙන්නෙ.

සබ්බේ තසන්ති දණ්ඩස්ස - සබ්බේසං ජීවිතං පියං
අත්ථානං උපමං කත්වා - නහනෙය්‍ය නඝාතයේ

සබ්බේ තසන්ති දණ්ඩස්ස - සබ්බේ භායන්ති මච්චුනො
අත්ථානං උපමං කත්වා - නහනෙය්‍ය නඝාතයේ

මේකෙ තේරුම තමයි "සියලුම සත්වයන් තමන්ගේ ජීවිතයට ප්‍රිය වේ. සියලුම සත්වයන් මරණයට බිය වේ. තමන් උපමා කරගෙන අනුන්ට හිංසා නොකරන්න" කියන අර්ථය.

ඉතින් මම නිසා තවත් සතෙක්ගේ ජීවිතයක් විනාශ වෙන නිසාත්, කෙනෙක් මාව මරන්න ආවම මම කොයිතරම් බය වෙනවද සහ මම කොයිතරම් මැරෙන්න බයද? කියන සිතුවිල්ලත් නිසා තමයි, මම මේ වගේ තීරණයක් ගත්තෙ.

[ සම්බන්ධිත ලිපියක් - මම මැරෙන්න බය ඇයි? ]

ඊට අමතරව ඒ කාලේ මම වරද්දන්නෙ නැතුව බලපු TNL නාලිකාවේ "නැණ පහණ" වැඩසටහන සහ "පූජා උත්තම පූජා" වැඩසටහනත් මේ තීරණයට යම් ආකාරයක බලපෑමක් එල්ල කළා. හැබැයි මේක බුදු දහම, නැණ පහණ, පූජා උත්තම පූජා, පිං සහ පව් කියන මේ ඔක්කොම දේවල් අමතක කරලා දාලා, මමම විවෘතව ගොඩක් හිතලා බලලා ගත්ත ඒකමතික තීරණයක්.


උඹ මස් මාළු කෑම නැවැත්තුවාට, මේ ලෝකයේ සත්තු මරණ එක නතර වෙන්නෙ නෑ

මේ කතාව ඇත්ත. හැබැයි මේ ලෝකෙ ඉන්න ඔක්කොම මිනිස්සු මස් මාළු කන එක නතර කළොත්, මේ කතාව ගොඩක් දුරට පදනම් විරහිත කතාවක් කරන්න පුලුවන්.

මොකද ලෝකයේ ඕනම භාණ්ඩයක් නිෂ්පාදනය වෙන්නෙ හෝ සේවා සැපයීමක් සිද්ධ වෙන්නෙ මිනිස්සුන්ගේ ඉල්ලුම මතයි. ඒ ඒ භාණ්ඩ වලට මිනිසුන්ගේ තියෙන ඉල්ලුම ඉහළ යන්න යන්න, ඒවායේ නිෂ්පාදනය සහ සැපයීම ඉහළ දමනවා වගේම........ ඒවාට මිනිස්සුන්ගේ තියෙන ඉල්ලුම පහළ යන්න යන්න, ඒවායේ නිෂ්පාදනය සහ සැපයීම පහළ යනවා වගේම, කාලයත් එක්ක ඒ භාණ්ඩය හෝ සේවාව වෙළදපලෙන් ඉවත් කරන්නත් පුලුවන්.

2011, 2012 වගේ කාල වලදී අපේ රටේ ඇති වුණු හලාල් විරෝධී රැල්ල සහ නෝලිමිට් විරෝධී රැල්ල මේකට හොඳ උදාහරණයක්.

කෙනෙක්ට කියන්න පුලුවන් භාණ්ඩ නිෂ්පාදනය සහ සැපයුම තියෙන නිසා තමයි, අපි ඒවා අරගන්නෙ කියලා. ඒත් ඇත්තටම යථාර්ථය අරක තමයි. ඉල්ලුමක් තියෙනකන් විතරයි ඕනෑම භාණ්ඩයක් හා සේවාවක් පවතින්නෙ.


කියන්නෙ නම් Vegitarian කියලා. ඒත් බිත්තර නම් කනවා.

මම Vegitarian කෙනෙක් වුණත්, මේ වෙන තෙක් මම කවදාවත් කොහෙදිවත් “මම Vegitarian කෙනෙක්" කියලා හදුන්වාගෙන නෑ. ඒකට ලොකුම හේතුව තමයි ලංකාවෙ ඉන්න අපේම අයගෙ තියෙන අනවබෝධය. නිර්මාංශ වීමේ පියවර, එහෙමත් නැත්නම් අදියර කිහිපයක් තියෙනවා කියලා, අපේ දැන උගත් බුද්ධිමතුන් දන්නෙ නැති වීම කණගාටුවට කරුණක්.

ඒ පියවර ටික පිරමීඩයක් විදිහට ඇන්දොත්, ඒ පිරමීඩයේ උච්ඡතම ස්ථරයට පහළින් ඉන්න අයට තමයි Vegitariansලා කියලා කියන්නෙ. Vegetariansලා මස් වර්ග, මාළු සහ මුහුදු ආහාර වලින් වැළකුණාට ඒ අය කිරි සහ බිත්තර පරිභෝජනය කරනවා.

නිර්මාංශ වීමේ පිරමීඩයේ උඩින්ම ඉන්නෙ Vegansලා. ඒ තමයි නිර්මාංශික වීමේ පියවර ගොන්නේ උච්ඡතම අවස්ථාව. මෙන්න මේ කියන Vegansලා තමයි අරවට අමතරව කිරි සහ බිත්තර භාවිතයෙනුත් ඉවත් වෙන්නෙ.

ඒත් අපේ රටේ ඉන්න සබුද්ධිමත් ජනතාව හිතන් ඉන්නෙ Vegitarian නම්, ඒ කියන්නෙ මස් මාංශ වලට අමතරව, කිරි සහ බිත්තරත් පරිභෝජනය නොකරන්න ඕන කියලයි.

ඉතින් කෙනෙක් මොනවා හරි කෑමක් මට දෙන්න කලින් “Vegitarian ද?” කියලා ඇහුවම, කෙටියන් "ඔව්" හෝ "නෑ" කියනවා වෙනුවට,
1) බිත්තර කනවා
2) Vegitarian කියලා අදහස් කරන දේ නිර්වචනය කරන්න

කියලා කියන්න මම පුරුදු වෙලා ඉන්නවා.


ඇයි දැන් ඔය බිත්තර වලින් එන්න ඉන්න කුකුල් පැටව් පව් නැද්ද?

මම බිත්තර පරිභෝජනය මාස 6ක් නවත්තලා හිටියා. 7 වෙනි මාසයේදී මම තේරුම් ගත්ත දෙයක් තමයි මේ ලෝකයේ හැම කෑමකටම වගේ බිත්තර පාවිච්චි වෙනවා කියන එක. කේක් එකක්, අතුරුපස වර්ගයක්, කොටින්ම බිස්කට් එකක් හැදුවත් ඒවටත් බිත්තර භාවිතා වෙනවා. ඉතින් වෙළදපොලේ තියෙන බිත්තර භාවිතය එහෙම් පිටින්ම නතර කළත්, අපි නොදැනුවත්ම හෝ වෙන වෙන ආහාර වලින් බිත්තර කැවෙනවා. ඒ නිසා බිත්තර කන එක නතර කරන එක බොරු වැඩක් සහ ප්‍රායෝගික නැහැ කියලා මට හිතුනා. ඒ නිසා තමයි ආයිත් බිත්තර පරිභෝජනය කරන්න ගත්තෙ.

ගොඩක් නිර්මාංශික ප්‍රතිපදාව අගය කරන අය නම්, එයාලගෙ තර්කය විදිහට කියන්නෙ "අපි බිත්තර කනවා. ඒ, ගොවිපලවල් වල බිත්තර. ඒවායෙන් පැටව් එන්නෙ නෑ" කියලයි. හැබැයි මම බිත්තර කන්නෙ, මම කලින් සඳහන් කරපු හේතුව නිසා විතරයි. මේ තර්කයට මම නම් කොහෙත්ම එකඟ නෑ. මොකද කුකුළු පැටව් බිහිවීමේ ක්‍රියාවලිය අඩාල කරලා තියෙන්නෙ, බිත්තර ඉල්ලුම නිසයි. ඒ, බිත්තර ඉල්ලුමට "ගොවිපලවල් වල බිත්තර වලින් පැටව් එන්නෙ නෑ" කියන අයත් දායකවෙනවා.


ලෙඩ වෙයි ඕයි

මිනිස්සුන්ට ප්‍රෝටීන් අවශ්‍යයි. ප්‍රෝටීන් කිව්වම හැමෝටම මතක් වෙන්නෙ මස් වර්ග සහ මාළු ජාති. ඒත් ලෝකයේ ප්‍රෝටීන් තියෙන ආහාර වලට තියෙන්නෙ මස් මාළු විතරක්ම නෙවේ. තවත් ඕන තරම් දේවල් තියෙනවා. ඉතින් මස් මාළු නොකෑවට, මම ඒවාට ආදේශක විදිහට වෙනත් ප්‍රෝටීන් ආහාර භාවිතා කරන්න පෙළඹිලා ඉන්නවා (බිත්තර, සෝයා, බෝංචි, ටෝෆු, හතූ, අල, යෝගට්, කඩල, මුං ඇට, කව්පි, පරිප්පු, දඹල ආදීය).


එතකොට උඹ දැන් ඔහොම වුණායින් පස්සෙ ජීවිතේටම මසක් මාළුවක් කාලා නැද්ද?

මම මස් මාංශ අනුභවය නතර කළාට, කොයිම වෙලාවකවත් ඒකෙ අන්තයට එහෙමත් නැත්නම් අන්තවාදය පැත්තට ගිහින් නෑ.

හිතන්න, මාව කාත් කවුරුත් නැති, කන්න මොකුත් හොයාගන්න නැති දූපතකට ගිහින් දානවා එක අවුරුද්දකට. හැබැයි එහෙම දාන්නෙ අවුරුද්දකට ඇති වෙන්න තියෙන කුකුල් මස් තොගයක් එක්කයි. අන්න ඒ වගේ වෙලාවකදි, මේ අවුරුද්දම පණ ගැට ගහගන්න, මට මේ කුකුල් මස් තොගය ඇරෙන්න වෙන විකල්පයක් නෑ.

මං උදාහරණ දෙකක් කියන්නම්.

එක දවසක් එහා පැත්තෙ ගෙදරකින් රෑට කන්නය කියලා බත් එකක් හම්බුණා. මේ බත් එකේ තිබ්බා බැදපු අල පෙත්තක්. මාත් ඉතින් ඔහේ කෑවා. කන කොට තමයි තේරුණේ ඒ අල පෙත්තක් නෙවේ. මාළු පෙත්තක් කියලා. දැන් මම ඕක කටින් "තුහ්" ගාලා බිම දැම්මා කියලා වැඩක් වෙනවද? මම කට ඇතුළට දාගත්ත දේ වෙන කාට හරි දෙන්න පුලුවන්ද? ඕක නිරපරාදේ විසික් කරලා දාන්න පුලුවන්ද? ඒ නිසා මම ඒක ගිල්ලා.

2012 අවුරුද්දෙ වකුගඩු ළග ගල් ආවා. මේ නිසා රෝහල්ගත වෙන්න වුණා. විනාඩි 30න් 30ට වගේ වමනේ යනවා හෝ ගාලා. කන කන දේ, බොන බොන දේ අනිත් අතට වමනෙත් එක්ක යනවා. වමනෙ ගිහින්, ගිහින් මම සෑහෙන්න දුර්වල වුණා. ගෙදර අය අහළ පහළ කඩවල් වලින් ගේන, කන්න ආස කරන සහ ප්‍රිය උපදවන කෑම ජාති ඔක්කොම ටික වමනෙත් එක්ක ගිහින්. ඇග හොදටම දුර්වලයි. රෑ 11.00ත් පහුවෙලා. ඔක්කොම කෑම කඩ වහලා.

ඉතුරු වුණු එකම විකල්පය තමයි රෝහලෙන් දීපු රාත්‍රී කෑම එක. ඒ කියන්නෙ රතු බත් ටිකයි, මාළු කෑල්ල සහ මාළු හොද්ද. ඒ වෙලාවෙ මම ගෙදර අයට කියපු දේ තමයි "ඔන්න ඕකත් දෙන්න. ඕක හරි කන්නම්" කියලා. ඒ වෙලාවෙ ගෙදර අයත් පුදුම වුණා ඇයි මම එහෙම තීරණයක් ගත්තෙ කියලා. ඒ වෙලාවෙ මමම හිතින් පන්සිල් සමාදන් වෙලා, මමම හිතින් කියාගත්තා "මම මේ මාළු කෑල්ල කන්නෙ, මට මේ වෙලාවෙ ඇති වෙලා තියෙන තත්වය අනුව, 'ජීවත් වීම පිණිස' විතරයි" කියලා. ඊට පස්සෙ හිතින් මේ මාළුවටත් පිං දුන්නා. ඉතින් ජීවත් වීමේ අරමුණින් විතරක් ඒ වෙලාවෙ, අකමැත්තෙන් හරි මට මාළු කෑල්ල කන්න වුණා.


දැන් මම ඔයාලගෙන් ඉල්ලන දේ

ලෝකය ගෝලාකාරයි. මිනිසුන් විවිධාකාරයි.

ඉතින් මේ ලෝකයේ මිනිස්සු එක එක ප්‍රතිපත්තිමය තීරණ ගන්නවා. සමහරු සමලිංගික වෙනවා. සමහරු කසාද බඳින්නෙ නෑ. සමහරු බ්‍රහ්මචාරී වෙනවා. සමහරු පැවිදි වෙනවා. ඔය ආදී වශයෙන්....

නිර්මාංශ වීම හෝ එහෙම වෙන්න උත්සාහ කරන එකත් අන්න ඒ වගේ තමයි. ඉතින් මම ඉල්ලා සිටිනවා ඒ වගේ අයව සමාජයක් ඉස්සරහා හිනාවට සහ විහිළුවට ලක් කරන්න එපා කියලා. ඒක ඒ අයගේ ප්‍රතිපත්තිය. ඒක ඒ අයගේ කැමැත්ත. ලෝකයේ අනිත් මිනිස්සු ඔයාලා කැමති විදිහට, ඔයාලාට ඕන විදිහට, ඔයාලා ජීවත් වෙන විදිහටම ජීවත් වෙන්න ඕනය කියලා කොහෙවත් නීතියක් නෑ. ඒ වගේම ඔයාලා මතු පිටින් දකින දේට වඩා, ඔයාලා නොදන්න සහ නොදකින ගැඹුරු කතාවක්, ඒ අයගේ ඒ ප්‍රතිපත්තිමය තීරණ ඇතුළෙ තියෙන්න පුලුවන්.

Photo Credits -
01. https://www.nutricionistasofiadiloreto.com.ar
02. https://www.lionsroar.com/
03. https://www.indiatoday.in/
04. https://www.thedailymeal.com/
05. https://www.eater.com/
06. https://medicalnewstoday.com/
07. https://www.flagstarnursing.com/
08. Unknown
By : Danula

No comments:

Powered by Blogger.