මම නම් බයයි


ගොඩක් වෙලාවට ඒකාග්‍රතාවයට බාධාවක් නොවෙන වැඩ කරන කොට, YouTube එකෙන් මොකක් හරි ධර්ම දේශනාවක් අහ අහ වැඩ කරන එක මගේ පුරුද්දක්.

ඉතින් ඒ ඒ වෙලාවට, එක එක හිමිවරුන්ගේ ධර්ම දේශනා අහනවා. ඒ අතරේ කැටවල හේමාලෝක, බොරැල්ලේ කෝවිධ, මාවරලේ භද්දිය, තලල්ලේ චන්දකිත්ති, පදලංගල ධම්මදේව, මැදගොඩ අබේතිස්ස, දොඩම්පහල රාහුල වගේ "ප්‍රසිද්ධ සහ විචිත්‍ර ධර්ම කථික" කියන කැටගරියට වැටෙන හිමිවරු එදිනෙදා පවත්වපු ධර්ම දේශනා එහෙම වැඩියෙන් අහනවා. ඒ අතරේ අත්තරගම පඤ්ඤාලංකාර නොහොත් කොටුවේ පොඩි හාමුදුරුවන්ගේ ධර්ම දේශනා එහෙමත් අහනවා.

කොටුවේ පොඩි හාමුදුරුවන් තමන්ගේ ධර්ම දේශනා වලට මාතෘකා කරගන්නෙ ලෞකික ජීවිතය නොහොත් මෙලොව ජීවිතය සාර්ථක කර ගන්න විදිහයි. පරලොව සහ නිර්වානය සාක්ෂාත් කර ගන්න විදිහ උන්වහන්සේගේ දේශනා වල නෑ. ඒ වුණාට අපිට පරලොව ජීවිතය සාර්ථක කර ගන්න පුලුවන් වෙන්නෙ, මෙලොව ජීවිතය සාර්ථක කරගත්තොත් විතරයි. ඒක තමයි පළවෙනි පියවර වෙන්නෙත්. ඒ නිසා පරලොව ජීවිතය සුගතිගාමී වීමේ යතුර, මෙලොව ජීවිතය කිව්වත් වැරදි නෑ.

කොටුවේ පොඩි හාමුදුරුවන්ගේ ධර්ම දේශනා ගැන ගුණ කියන අය වගේම දොස් කියන බොහෝ පිරිසකුත් ඉන්නවා. මමත් උන්වහන්සේගේ සමහරක් ප්‍රකාශන සහ ක්‍රියා කලාප පෞද්ගලිකව අනුමත කරන්නෙ නෑ. ඒත් ඒ ධර්ම දේශනා වලින් ජීවිතය යහපත් කර ගන්න ගත යුතු දේවල් විතරක් අරගෙන, ඉතිරිය බැහැර කරන එක තමයි වටින්නෙ.

උන්වහන්සේගේ හැම ධර්ම දේශනයකම, සහභාගී වෙලා ඉන්න පිරිසගෙන් උන්වහන්සේ අනිවාර්යෙන්ම අහන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි "මැරෙන්න බය නැති අය අත් උස්සන්න" කියන ප්‍රශ්නය. ඒ හැම වීඩියෝවකම ශාලාවෙ ඉන්න හැම කෙනෙක්ම වගේ නෝන්ඩි වෙන්න බැරි කමට හෝ ඇත්තටම හෝ අනවබෝධය නිසා අත් උස්සනවා. ඒ හැම අවස්ථාවකදිම පොඩි හාමුදුරුවො කියන්නෙ "ගේන්න අර වාහනේ දාගෙන ආපු තුවක්කුව. අරන් ඔක්කොටම වෙඩි තියන්න." කියලයි. ඒකෙන් උන්වහන්සේ අදහස් කරන්නෙ, තුවක්කුවක් අරන් ආවොත් ඒ අත උස්සපු එක්කෙනෙක්වත් ශාලාවෙ ඔහොම ඉන්නෙ නෑ කියලයි.

ඉතින් ඒ හැම වීඩියෝවකදිම මම කල්පනා කළේ, ඔය ප්‍රශ්නයට මට උත්තර දෙන්න වුණොත් මම මොකක්ද දෙන උත්තරේ කියලයි. මම මැරෙන්න බයද? එහෙම නැත්නම් මැරෙන්න බය නැද්ද? ඉතින් ඔහොම කල්පනා කරන කොට මට මගේ උත්තරේ නම් ලැබුණා.

අපේ බෞද්ධ දර්ශනයත් එක්ක තදින්ම බැදිලා තියෙන මාතෘකාවක් තමයි "කර්මය සහ පුනර්භවය" කියන්නෙ. කර්මය සහ පුනර්භවය ඇත්තක් කියලා විශ්වාස කරන්න පුලුවන් බොහෝ සිද්ධි අතීතයේ වගේම වර්තමානයෙත් ශ්‍රී ලංකාව සහ අනිත් රටවල් අතරින් සොයා ගැනෙනවා. විශේෂයෙන්ම කුඩා ළමයි තමන්ගේ පෙර ආත්මය ගැන හෙළි කරන තොරතුරු මේකට හොඳ උදාහරණයක්. ඒ වගේම ඒ තොරතුරු ඔස්සෙ ආපස්සට පරීක්ෂණ කළාම ඒ තොරතුරු ඇත්ත කියලත් හොයා ගන්න පුලුවන් වෙලා තියෙනවා. ඊළගට මෝහන විද්‍යාවෙනුත් මේ වගේ කරුණු සහ සිදුවීම් ගැන පරීක්ෂණ කෙරෙනවා. එතනින් නොනවතින සමහර අය එක එක අයගෙ මරණාසන්න අත්දැකීම් ගැන පරීක්ෂණත් කරනවා. සමහර අය කිර්ලියන් ඡායාරූප විද්‍යාව හරහත් එතෙර ලෝකයක් දකින්න උත්සාහ කරනවා.

ඒ අනුව මගේ උත්තරය වෙන්නෙ "මම මැරෙන්න බයයි" කියලයි. ඒකට හේතු 4ක් තියෙනවා.

01. පෙර අත්දැකීම අමතක වී තිබීම
බෞද්ධ දර්ශනයට අනුව නම් අපි මේ සංසාරේ අනන්තවත් මැරි මැරී උපදිනවා. ඒකෙන් ගැලවෙන්න තියෙන එකම මාර්ගය නිවනම තමයි. අපි මේ සංසාරේ කොච්චර මැරිලා තිබ්බත්, අපිට ඒ එක සිදුවීමක්වත් මතකයේ නෑ. මැරෙන කොට මොකද වෙන්නෙ? ඇගේ මොන වගේ ලක්ෂණද හට ගන්නෙ? ශරීරයෙන් විඤ්ඤානය වෙන් වෙන්නෙ කොහොමද? එහෙම වෙන් වෙන කොට මොන වගේ හැගීමක්ද ඇති වෙන්නෙ? බයක් දැනෙනවද? විඤ්ඤාණය තනි වෙනවද? මොනවද අපට පේන්නෙ සහ ඇහෙන්නෙ? ආයිත් අපේ ශරීරයට ඇතුළ් වෙන්න විඤ්ඤාණය උත්සාහ කරනවද? ඊට පස්සෙ කොහාටද අපි යන්නෙ? අපිව කවුරු හරි යවනවද? නැත්නම් අපිම යනවද? මේ කිසි දෙයක් ගැන මතක නැති නිසා සහ දන්නෙ නැති නිසා මම මැරෙන්න බයයි.

02. අපරාපරියවේදනීය කර්මය
බුදු හාමුදුරුවො කර්මය ආකාර හතරකින් විපාක දෙන්න පුලුවන් කියලා විස්තර කරලා තියෙනවා. මේ ජීවිත කාලය තුළ මම කාටවත් වරදක් කරලා නෑ. මගේ ශක්ති ප්‍රමාණය සහ ආර්ථිකය අනුව සමාජයට හොඳ දේවල්ම කරන්න සහ පිං දහම් කරන්නම තමයි මගේ උත්සාහය. ඒත් බුද්ධ දේශනාවෙ තියෙනවා "අපරාපරියවේදනීය කර්මය" කියලා කොටසක්. ඒ අනුව අපි මේ ආත්මයේ කොච්චර පිං දහම් කළත්, ගිය ආත්මයේ කොච්චර පිං දහම් කළත්, ඊටත් කලින් ආත්මයේ කරපු යහපත් හෝ අයහපත් විපාකයක්, අපේ ඊළග ආත්මයේ පල දෙන්න පුලුවන්. ඉතින් ගිය ආත්ම වල මම මොන විදිහේ පව් සහ නරක දේවල් කරලා තියෙනවද කියලා දන්නෙ නැති නිසා මම මැරෙන්න බයයි.

03. චුති සිත
චුති සිත කියන්නෙ අපි මැරෙන මොහොතේ, එහෙමත් නැත්නම් හුස්ම යන තත්පරයේදී අපිට තියෙන සිතයි. මේ අන්තිම චුති සිතත්, ඊළග උත්පත්තිය සකස් වෙන්න තදින්ම බලපානවා. මැරෙන මොහොතේ අපේ හිතේ තියෙන්නෙ මොනවද? ඒ දේ ඉවහල් වෙනවා අපේ ඊළග ආත්මය සුගතිගාමී වෙන්න හෝ දුගතිගාමී වෙන්න. අපි මේ ජීවිතයේ කොච්චර පිං කුසල් කළත්, මැරෙන අන්තිම තත්පර භාගයේදී වැරදිලාවත් නරක සිතුවිල්ලක් ඇති වුණොත්, ඒකම ඇති ඊළග උත්පත්තිය දුගතිගාමී වෙන්න. ඉතින් මැරෙන වෙලාවේදී මොන වගේ සිතුවිල්ලක් ඇති වෙයිද කියලා දන්නෙ නැති නිසා මම මැරෙන්න බයයි.

04. ඇතිවීම, පැවැත්ම සහ විනාශය
ඊළග ආත්මයේ මනුස්ස ආත්මයක් ලැබුවොත්, ආයිත් අපිට මේ ආත්මයේ කරපු දේම කරන්න වෙනවා. හය හතර ඉගෙන ගෙන, පෙර පාසල් ගිහින්, උපකාරක පන්ති එක්ක අවුරුදු 13ක් ඉස්කෝලෙ ගිහින්, උසස් අධ්‍යාපනය ලබලා, රැකියාවක් කරන ගමන් විවාහ වෙලා, දරුවන් හදලා, මුණුබුරු මිණිබිරියන් හදලා, සතර වරිගයටම සහ දරුවන්ට, දෙමාපියන්ට යුතුකම් සහ වගකීම් ඉටු කරලා, ලෙඩ වෙමින්, ප්‍රශ්න වලට සහ බාධක වලට මුහුණ දෙමින්, මහළු වෙලා, මැරෙන්න වෙනවා. තිරිසන් සතෙක් වෙලා ඉපදුනොත්, ඒත් ඉපදුනු දවසෙ ඉදලා මැරෙනකන්ම ජීවිතය ආරක්ෂා කරගෙන, දඩයමක් හෝ ආහාර ටිකක් හොයාගෙන, සතර මහා භූතයන්ගෙන් එකක, අපිරිසිදු විදිහට, දුක් විද විද ඉන්න වෙනවා. ඒ නිසා මම මැරෙන්න බයයි.

ඉතින් මේක සෙල්ලමක් නෙවේ. දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. ගොඩක් අය මැරෙන්න බය නෑ කියලා චණ්ඩිකමට කිව්වත්, මැරෙන මොහොතේ තමයි ඒක ඇත්තද බොරුද කියලා ඇත්තටම දැන ගන්න පුලුවන් වෙන්නෙ...!!!!!
By : Danula

No comments:

Powered by Blogger.