Driving Licence එක වේරහැරෙන් අලුත් කරන විදිහ



01. දිනයක් සහ වේලාවක් වෙන් කර ගැනීම
a. මුලින්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගිහින්, මෙන්න මේ Form එක පුරවලා දිනයක් සහ වෙලාවක් වෙන් කරගන්න. මේක අනිවාර්යෙන්ම කරන්න ඕන. නැත්නම් ගේට්ටුවෙන් ඇතුළටවත් ගන්නෙ නෑ - https://dmtappointments.dmt.gov.lk

b. Form එක පුරවන්න. තමන්ගේ අවශ්‍යතාවය, ස්ථානය, දිනය, වේලාව, ජංගම දුරකතන අංකය හරියට පුරවන්න. ජංගම දුරකතන අංකය Verify කරනකොට OTP Code එකක් SMS එකකින් එයි. ඒකත් දාන්න.

c. Form එක Submit කළාට පස්සෙ, ඒ සම්බන්ධව ඔයාලගේ ජංගම දුරකතනයට SMS එකක් එයි. ඒක බොහොම පරිස්සමෙන් ආරක්ෂා කරලා තියාගන්න. මැකෙන්න දෙන්න එපා. වැඩි හොඳට Screenshot එකක් එහෙම අරගන්න.


02. ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළට යෑම
a. අදාළ දවසට වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට යන්න. අදාළ වෙලාවට පැය භාගයකට කලින් වගේ ගියාට කමක් නෑ.

b. එහෙම යනකොට තමන්ගේ ජාතික හැදුනුම්පත, අවලංගු වුණු රියදුරු බලපත්‍රය, ගෙවීම් කටයුතු සඳහා අමතර මුදල්, ඔබගේ ජංගම දුරකතනය එහෙම අරගෙන යන්න අමතක කරන්න එපා.

c. ප්‍රධාන ගේට්ටුව ළග තියෙන මුර කුටියට ඔයාලගෙ අවශ්‍යතාවය කියලා, ජංගම දුරකතනයට ආපු SMS පණිවිඩය පෙන්නලා, ඔයාලගේ ජාතික හැඳුනුම්පත් අංකය ලබා දෙන්න. එතකොට එතනින් එදා දවසේ එයාලට ලැබුණු පැමිණීමේ ලේඛනයෙන් ඔයාලගෙ Record එක හොයලා, ඔයාලා එතනට ආවා කියලා සටහන් කර ගන්නවා.

d. දැන් ගේට්ටුවෙන් ඇතුළට යන්න. ගේට්ටුව ළග ඉන්න ආරක්ෂක නිළධාරීන්ටත් ඔයාලගෙ අවශ්‍යතාවය කියන්න. ඒ වගේම මුර කුටියට ඒ බව දැනුම් දුන්නා කියලත් කියන්න. අවශ්‍ය වුණොත් Appointment එක දානකොට ලැබුණු SMS පණිවිඩය එයාලටත් පෙන්වන්න.


03. වෛද්‍යය වාර්තාව ලබා ගැනීම
a. මේ කටයුත්තට ඔයාලට වෛද්‍යය වාර්තාවක් ඕන. මේ වෛද්‍යය වාර්තාව ඔයාලට මෙතනින්ම කරගන්න පුලුවන් (එහෙම නැත්නම් වෙනත් තැනකින් කරගෙන අරගෙන එන්නත් පුලුවන්).

b. මෙතනින් වෛද්‍යය වාර්තාව ලබා ගන්නවා නම්, ඉස්සරහට යනකොට වම් අත පැත්තෙන් හමු වෙනවා කුටියක්. ඒ කුටියට ගිහින් SMS එක පෙන්නලා, වෛද්‍යය වාර්තාවක් ලබා ගැනීමේ අවශ්‍යතාවය කියන්න. එතකොට එතනින් ඔයාගේ පින්තූරයක් අරගෙන, කොළයක් එක්ක අංකයක් දෙයි. වෛද්‍යය වාර්තාව ලබා ගැනීමේ කටයුත්ත අවසන් වෙනකන්ම ඔයාව අමතන්නෙ අන්න ඒ අංකයෙන්.

c. දැන් ඒ කොළෙත් අරගෙන ඉස්සරහටම යන්න. එතකොට හමුවෙනවා වෛද්‍යය අංශයේ ගොඩනැගිල්ල. එතනට පිවිසෙන ස්ථානයේ ඉන්න නිළධාරීන්ට ඒ කොළය දුන්නම, එයාලා ඒ කොළයේ විස්තර පොතක සටහන් කරලා, ඔයාලගෙ උස මැනලා, බර කිරලා, ඒ කොළයෙම සටහන් කරයි. ඊට පස්සෙ එතන වාඩිවෙලා ඉන්න.

d. ටිකක් වෙලා ගියාම ඔයාලට ලැබුණු අංකය කතා කරනවා. එතකොට ජාතික හැදුනුම්පතයි, අවලංගු වුණු රියදුරු බලපත්‍රයයි, අර කොළෙයි අරගෙන ඇතුළට යන්න.

e. ඊට පස්සෙ එතනින් නිළධාරියෙක්, රියදුරු බලපත්‍රය ලබා ගන්නකොට අපි ලබා දීපු විස්තරත් එක්ක, අපේ විස්තර සහ අපි කියන විස්තර වල නිර්වද්‍යතාවය බලනවා.

f. ඊට පස්සෙ එතනිනුත් ඇතුළට ගිහින්, Casheer එකට වෛද්‍යය සහතිකය ලබා ගැනීමේ ගාස්තුව ගෙවන්න ඕන (2022 අප්‍රේල් මාසය = රු.800ක්). ඊට පස්සෙ ඔයාලට ඒ ගෙවීමට නියමිත රිසිට්පතක් ලැබෙනවා.

g. ඊට පස්සෙ එතනම තියෙන දොරෙන් ඇතුළට ගිහින්, එතන ඉන්න නිළධාරියෙක්ටත් ජාතික හැදුනුම්පත, රිසිට් පත, අර කොළය දෙන්න ඕන. එතකොට එයාලා එයාලගෙ පරිගණක වලින් ඒ විස්තරත් එක්ක, මීට කලින් ලබා ගත්ත වෛද්‍ය වාර්තා පරීක්ෂා කරලා බලනවා. රුධිර ඛාණ්ඩය කලින් සටහන් වෙලා තියෙන නිසා අලුතෙන් රුධිර පරීක්ෂණයක් කරන්නෙ නෑ. ඊට පස්සෙ ආයිත් අර වාඩි වෙලා හිටපු තැනින් වාඩි වෙලා ඉන්න.

h. ඊට පස්සෙ අංක කිහිපයක් කතා කරනවා. එතකොට ඒ අංක ලැබුණු ඔයාලා ඇතුළෙ තියෙන කාමරේකට යන්න ඕන. දික් කලිසම් ඇදගෙන ඉන්නවා නම් දණහිසට වෙනකන් කලිසම නවාගන්න.

i. දැන් ඔයාලගෙ ජාතික හැදුනුම්පතේ තියෙන නම සටහන් කරගන්නවා. ඊට පස්සෙ ඔයාලගේ ශාරීරික යෝග්‍යතාවය පරීක්ෂා කරනවා. මෙතනදි ඔයාලට පොඩි සරල සරඹ ක්‍රියාකාරකම් ටිකක් කරන්න වෙනවා. බෙල්ල එහාට මෙහාට හරවන්න, තනි කකුලෙන් හිටගන්න, අත් උස්සන්න සහ පහතට දාන්න, කකුල නමන්න සහ දිගාරින්න, කකුලෙ ඇගිලි තුඩු වලින් හිටගන්න.... ඔය වගේ දේවල් ටිකක්.

j. ඊට පස්සෙ හැමෝම කාමරෙන් පිටතට යවලා, එක්කෙනා එක්කෙනා ඇතුළට ගන්නවා. දැන් තියෙන්නෙ ඇස් පරීක්ෂාව. එතන තියෙන, එක එක ප්‍රමාණයේ ඉංග්‍රීසි අකුරු තියෙන Board එක බලාගෙන, නිළධාරියෙක් පෙන්නන පෙන්නන ඉංග්‍රීසි අකුර කියන්න ඕන, එක ඇසක් වහගෙන. මෙතනදි මේ නිළධාරියා ඉතාමත් වේගයෙන් තමයි අකුරු පෙන්නන්නෙ.

k. ඊට පස්සෙ හැමෝටම ආයිත් එළියෙන් වාඩිවෙලා ඉන්න වෙනවා. ටික වෙලාවක් ගියාම ඔයාලගෙ අංකය කතා කරනවා. එතකොට ගියාම ඔයාලගෙ අතට වෛද්‍යය සහතිකය ලැබෙනවා. වෛද්‍යය සහතිකය හරියට බලලා, වෛද්‍යය සහතිකයේ සහ එයාලාගේ වාර්තා පොතේ අත්සන් කරන්න ඕන.


04. ප්‍රධාන ගොඩනැගිල්ලට පිවිසීම
a. දැන් මේ ටිකත් අරන් කෙලින්ම ගිහින් වම් පැත්තට හැරෙන්න හම්බවෙන පළවෙනි පාරෙන් හැරිලා H ගොඩනැගිල්ලට යන්න. එතන ගේට්ටුව ළග ඉන්න ආරක්ෂක නිළධාරීන්ටත් අර SMS එක පෙන්නන්න.

b. ගොඩනැගිල්ලට ඇතුළ් වෙන ස්ථානයේ, එළියෙ ඉන්න අය ළගත් පොතක් තියෙනවා. එයාලටත් ඔයාලගෙ SMS එක පෙන්නලා, ඔයාලගෙ SMS එකේ තියෙන Reference Number එක කියන්න.

c. ඊට පස්සෙ ගොඩනැගිල්ල ඇතුළෙ තියෙන ඕනෑම Counter එකක් ළගට ගිහින්, ආයිත් අර SMS එක සහ ජාතික හැදුනුම්පත ලබා දෙන්න. ඊට පස්සෙ එයාලා තොරතුරු තහවුරු කිරීමක් කරලා, ඔයාලට අංකයක් එක්ක පොඩි කොළයක් දෙනවා. මෙතන ඉදලා දිගටම ඔයාලව අමතන්නේ ඒ අංකයෙන්. දැන් එතන තියෙන පුටුවක වාඩිවෙලා ඉන්න.

d. ටික වෙලාවකට පස්සෙ අංක දෙකක පරාසයක් කියයි. ඒ අංක පරාසය අතරට ඔයාලගෙ අංකෙත් ගැනෙනවා නම්, එතන ප්‍රධාන දොරෙන් ඇතුළට යන්න. එහෙම ගියාම 1 ඉදලා 15 විතර වෙනකන් තියෙන Counter වලින් පහසු Counter එකකට යන්න (සමහර විට එතනත් පුංචි පෝලිමක් ඇති). එතන ඉන්න නිළධාරියාටත් SMS එක පෙන්නලා, වෛද්‍යය සහතිකය, ජාතික හැදුනුම්පත, අවලංගු වුණු රියදුරු බලපත්‍රය සහ Counter එකේ දුන්න කොළය පෙන්වන්න. ඊට පස්සෙ එතනදි ඔයාලගේ ඡායාරූපයක් ගන්නවා. අන්න ඒ ඡායාරූපය තමයි රියදුරු බලපත්‍රයේ ප්‍රදර්ශනය වෙන්නෙ. ඊට පස්සෙ වම් සහ දකුණු මහපටැගිලි වල Digital Finger Print එකක් අරගන්නවා. ඊට පස්සෙ Form එකක් ලබා දෙනවා. ඒකෙ තියෙන විස්තර වලින් 95% විතර පුරවලයි තියෙන්නෙ. ඒ, අපි කලින් ලබා දීපු විස්තර අනුව.

e. දැන් ඒකෙ තියෙන විස්තර ටික හරිද බලලා, දුරකතන අංකය ලියලා, දිනය ලියලා, අත්සනක් දාන්න.

f. දැන් අර මම කලින් කියපු පරාසයට අයත් නොවෙන Counter වලින්, වම් පැත්තෙ කොණේම Counters ටික මගෑරලා මැද තියෙන ඕනෑම Counter එකකට යන්න. ඒවායෙත් පොඩි පෝලිමක් තියෙන්න පුලුවන්. එතන නිළධාරියාට වෛද්‍යය සහතිකය, අර Form එක, අවලංගු වුණු රියදුරු බලපත්‍රය, ජාතික හැදුනුම්පත ලබා දෙන්න. දැන් මෙයා අවලංගු වුණු රියදුරු බලපත්‍රය අහෝසි කරනවා. ඒ කියන්නෙ ඒකට හිල් විදිනවා. ඊට පස්සෙ අපේ අර Form එකේ සහ වෛද්‍යය සහතිකයෙ පිටපත් ගන්නවා.

g. දැන් අර Form එකත් අරන්, වම් අත පැත්තෙ කොණේම Counter එකකට යන්න. එතනදි තමයි ගෙවීම් කටයුතු සිදු කරන්නෙ. එතන ගොඩක් වෙලාවට දිග පෝලිම් ඇති. එතනට ගිහින් Form එක දුන්නම, එතනින් යම් ගාණක් කියනවා (රියදුරු බලපත්‍රය අලුත් කිරීම : 2022 අප්‍රේල් = රු.3700). මුදල් ගෙව්වට පස්සෙ, එයා අපිට කොළ දෙකක් දෙනවා. ඒ දෙන්නෙ තාවකාලික අවසර පත්‍රයක්. අපේ අලුත් රියදුරු බලපත්‍රය අපිට තැපෑලෙන් ලැබෙනකන්, අපිට මේ තාවකාලික අවසර පත්‍රය තියාගෙන රිය ධාවනය කිරීමේ අවසරය ලැබෙනවා. එච්චරයි !
By : Danula

1 comment:

Powered by Blogger.