භක්ති ගීත


බුදුන් වහන්සේ කෙරෙහි අපි කිසිම කෙනෙක්ට කොයිම වෙලාවකවත් භක්තියක් ඇති වෙන්නෙ නෑ. අපිට බුදුන් වහන්සේ කෙරෙහි ඇති වෙන්නෙ ශ්‍රද්ධාවක්. භක්තියක් ඇති වෙන්නෙ බුදුන් කෙරෙහි නෙවේ. දෙවියන් කෙරෙහි. ශ්‍රද්ධාව සහ භක්තිය අතර ලොකු වෙනසක් තියෙනවා.

​ශ්‍රද්ධාව කියන්නේ බුද්ධ, ධම්ම, සංඝ කියන තෙරුවන් පිළිබදව "අවබෝධයෙන්" ඇතිවෙන පැහැදීමටයි. නිර්වාණය ලබා ගැනීම පිණිස ප්‍රඤ්ඤාව කරා මේ යන ගමන ආරම්භ කරන්න ශ්‍රද්ධාව ඉවහල් වෙනවා. ​


භක්තිය කියන්නෙ තමන්ටවත් හරියාකාරව විස්තර කර ගන්න බැරි, අදෘෂ්‍යමාන දේවල් කෙරෙහි ඇතිවෙන බයටයි. ​දෙවි කෙනෙකුට භාරයක් වෙන කෙනෙක්, ඒ භාරය අනිවාර්යෙන්ම ඔප්පු කරන්න පෙළඹෙනවා. දේව පූජාව තියන කෙනා අනිවාර්යෙන්ම දේව පූජාව තියනවා. දේවාලයකට, කෝවිලකට යන කෙනා යන්නෙ, හොදට නාලා පිරිසිදු වෙලා. ඒ වගේම ඒ පූජා භූමිවලදි හිත, කය, වචන සංවරයෙන් තියාගෙන ඉන්නවා.

හේතුව, ඒ අය තුළ විශ්වාසයක් තියෙනවා මේ දේවල් කළේ නැත්නම්, දෙව්වරුන්ගේ උදහසට ලක් වෙන්න පුලුවන් කියලා. දේව ශාපයකට ලක් වෙන්න පුලුවන් කියලා. 


ඒ නිසා ඒ අය ඒ දේවල් කරන්නෙ සහ පිළිපදින්නෙ දෙව්වරුන්ට තියෙන බයට මිසක් ඒ දේවල් ගැන අවබෝධයෙන් නෙවේ. ඒ භක්තිවන්තයින්......

හැබැයි ශ්‍රද්ධාවන්තයින්ට එහෙම බය වෙන්න කිසිම හේතුවක් නෑ. බුද්ධ පූජාව තියන්න අමතක වුණා කියලා, බෞද්ධ පූජා භූමියකට යනකොට පිරිසිදු වෙලා යන්න බැරි වුණා කියලා, බෞද්ධ පූජා භූමියකදී නරක වචනයක් කියවුණා කියලා අපි බය වෙන්නෙ නෑ. 


මොකද බුදු හාමුදුරුවො කවදාවත් කාටවත් කරදරයක්, හිරිහැරයක්, නපුරක් කරපු කෙනෙක් නෙවේ. ​බුදු හාමුදුරුවො තමන්ගේ ගිහි කාලයේ පුත්‍රයා වුණු රාහුල හාමුදුරුවන්ට සමාන වූ මහා කරුණාවක්, තමන් වහන්සේව ඝාතනය කරන්න හදපු දේවදත්ත හාමුදුරුවන්ටත් දැක්වුවා. 

​ඒ නිසා සැබෑ බෞද්ධයා තෙරුවන් සරණ යන්නෙ, තෙරුවන් කෙරෙහි ඇති ගෞරවය සහ "අවබෝධය" නිසා මිසක්, තෙරුවන් කෙරෙහි ඇතිවෙන බයක් නිසා නෙවේ.

පොසොන් පෝයට අපිට නිතරම ඇහෙන දෙයක් තමයි "භක්ති ගීත" කියන්නෙ. එහෙමත් නැත්නම් "බැති ගී" කියන්නෙ....... ඒත් මම කලින් සදහන් කරපු විදිහට බැලුවොත්, ඇත්තටම පොසොන් පෝය දවසෙ තියෙන්නෙ භක්ති ගීතද? එහෙම නැත්නම් සැදැහැ ගීද...?????
By : Danula

No comments:

Powered by Blogger.