සහජීවනය


" ඇමරිකාවෙ කවුරු හරි කඩයක් දැම්මොත්, ඊට අල්ලපු ඉඩමෙ තවත් කෙනෙක් කඩයක් දානවා නම්, එයා දාන්නෙ වෙනස්ම කඩයක්. උදාහරණයක් විදිහට අපි හිතමු කවුරු හරි කෙනෙක් සපත්තු කඩයක් දැම්මා කියලා. එහෙනං ඊට අල්ලපු ඉඩමෙ කඩයක් දාන කෙනා, ඒ කඩේ වෙළදාම් කරන්නෙ මේස් කුට්ටම්. තව කෙනෙක් එතන අලුත් කඩයක් දැම්මොත්, එයා වෙළදාම් කරන්නෙ සපත්තු පොලිෂ්. එතකොට ඊළගට එන කෙනා එතන ලේස් කඩයක් දානවා. ඔන්න ඔය විදිහෙ ක්‍රමයක් තමයි එහේ තියෙන්නෙ. 

අපේ නම් ඒකෙ අනිත් පැත්ත. එක්කෙනෙක් කඩයක් දැම්මොත්, ඒ විදිහෙම කඩයක් තමයි අලුතෙන් එන කෙනා දාන්නෙත්. ඊළගට එන කෙනත් ඒකමයි කරන්නෙ. එක්කෙනෙක් පළතුරු කඩයක් දැම්මොත්, අනිත් පැත්තෙ කෙනත් පළතුරුම විකුණනවා. ඊට එහා පැත්තෙ ඉන්න කෙනත් පළතුරුමයි විකුණන්නෙ. අලුතෙන් කෙනෙක් ආවොත්, ඔන්න එයත් පළතුරු විකුණන්න ගන්නවා. ඒත් ඇමරිකාවෙ ක්‍රමය තමයි මම ඉස්සෙල්ලා කිව්වෙ. එතකොට සපත්තු ගන්න එන කෙනාට, කොහොමත් පොලිෂ් ඕන. මේස් ඕන. ඉතින් එයාට පුලුවන් වෙනවා, ඒ පැත්තෙ තියෙන ඔක්කොම කඩවල්වලින් ගණුදෙනු කරන්න. එයාට අවශ්‍ය ඔක්කොම දේවල්, එකම කඩ සාප්පු පේළියකින් අරගන්න පුලුවන්. ඒක කඩහිමියන්ට වගේම පාරිභෝගිකයින්ටත් වාසි. ඒ ඒ  කඩ හිමියන් අතරෙත් සහයෝගය ගොඩනැගෙනවා. ​

​එකම ජාතියෙ කඩ දාන අවස්ථාත් තියෙනවා. හැබැයි ඒත් වෙනස් කරලා තමයි දාන්නෙ. උදාහරණයක් විදිහට චීන හෝටලයක් තියෙන ඉඩමකට එහා පැත්තෙ, තවත් චීන හෝටලයක් දානවා. හෝටල් දෙකම චීන වුණාට, හෝටල් දෙකේ කෑම වට්ටෝරු වෙනස්.............. "

මේ ඇමරිකාවෙ ඉන්න මගේ යාලුවෙක්, අවුරුදු ගණනාවකට උඩදි කියපු කතාවක්. මට මේ කතාව මතක් වුණේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ඉස්සරහා තියෙන පදික වේදිකාවේ, හැමදාම හවසට එතනින් යනකොට දකින කුඩා කර්මාන්ත ටික නිසයි.

එතන ඉන්නවා, පොඩි කුඩයක් ගහපු මේසයක ඉදගෙන එක එක වර්ගයේ සරුවත් විකුණන පිරිසක්. 

මේ අයට එහා පැත්තෙන් ඉන්නවා පොඩි කුඩයක් ගහපු මේසයක ඉදගෙන එක එක වර්ගයේ අච්චාරු විකුණන පිරිසක්. 

ඊට එහායින් ඉන්නවා, කුඩා ත්‍රීවිල් එකකින් ඇවිත් පදික වේදිකාවේ බිම ඉදගෙන සෙරෙප්පු අලෙවි කරන පිරිසක්. 

ඒ අයට එහා පැත්තෙ කුඩයක් ගහපු මේසයක ඉදගෙන පිරිසක් අන්තර්ජාල උපාංග අලෙවි කරනකොට, මෙහා පැත්තෙ ගහක් යට සපත්තු සහ සෙරෙප්පු මහන කෙනෙක්ව දැක ගන්න පුලුවන්. 

තව ටිකක් එහායින් ඉන්නවා තැඹිලි විකුණන පිරිසක්. 

ඒ අයට එහා පැත්තෙ ඉන්නෙ ත්‍රීරෝද රථ, එහෙමත් නැත්නම් කුලී රථ සේවාවන් සපයන අය. 

මේ හැමෝටම ඉස්සරහින් දැක ගන්න පුලුවන් කුඩා ප්‍රමාණයේ ත්‍රීරෝද රථ දෙකක්. 

එක රථයක බේකරි වර්ගයේ ආහාර අලෙවි කරනකොට, අනිත් රථයේ මුරුක්කු අලෙවි කරනවා දැක ගන්න පුලුවන්.
By : Danula

No comments:

Powered by Blogger.