ඇක්සිඩන්ට් වෙලා වන්දිත් ඉල්ලනවා


දවසක් කොළඹ ගිහින් රත්නපුරේ එන වෙලාවේ වෙච්ච සිදුවීමක් එක්ක ගීතයක් මතක්වෙලා තමයි ආයෙත් කාමරේට පෝස්ට් එකක් දාන්න ඕන කියලා මේ පෝස්ට් එකක් කොටන්න කල්පනා කරේ . මගේ විවිධ වැඩවල් වලට දැන් නිතර නිතර කොළඹ යැවෙනවා . සාමාන්‍යයෙන් අතරමග ටවුන් එකකින් බස් එකකට නගින්න පුළුවන් වුණත් මම සාමාන්‍යයෙන් කොටුවට ගිහින් ඉඳගෙන එන්න පුළුවන් බස් එකක සැදී පැහැදී ඉඳගෙන එන්න තමයි බලන්නේ .

සමහර වෙලාවට ඔහොම එනකොට පොත් කියවනවා . එහෙමත් නැත්නම් මොනවා හරි pdf ෆෝන් එකේ දාගෙන ගිහින් කියවනවා . එහෙමත් නැත්නම් වැඩියෙන්ම කෙරෙන්නේ නිදාගන්න එක තමයි . බස් එකෙන් බහින්න ආසන්න පැය ගානක් බලලා ෆෝන් එකේ එලාම් වයිබ්රේට් වෙන්න තියලා නින්දක් දානවා .

ඔයවගේ මම මේ කියන දවසෙත් කොටුවට ගියා . උදේ ගියේ කඩුවෙල . ඒත් ඊට පස්සේ කොටුවට ගියා ඉඳගෙන එන්න පුළුවන් බස් එකකම එන්න ඕන නිසා . බස් කීපයක්ම තිබුණා රත්නපුරේට එන්න පුළුවන් ඒවා . ඒත් ඉක්මණට යන එක මොකක්ද කියලා බලන්ගොඩ බස් එකක නැග්ගා . සාමාන්‍යයෙන් 122 98 99 03 වගේ බස් කොළඹ ඉඳලා එන වේගය ගැන වැඩිය විස්තර කරන්න ඕන නැහැ . බස්වල යන එන අය දන්නවා කෙස් ගහේ දුරෙන් ඔය බස් වාහන ඇතුලෙන් රිංගලා යන හැටි . මම ආව බස් එකත් ඒවගේ බස් එකක් . කොටුවෙන් පෑලියගොඩ කැළණිය පැත්තෙන් ඇවිත් කඩුවෙලට බස් එක දාලා ඔන්න බස් එක පිඹගෙන ආවා .

වැඩි සෙනගක් හිටියෙත් නැහැ . ඒත් සිලෝන් ටකරන් බස් එකක් නිසා නවත්ත නවත්ත කාලේ කෑවෙත් නැහැ . බස් එක ඇහැලියගොඩ පහු කරලා පරකඩුව හන්දියත් පහු කරලා කුරුවිටට ලං වෙනකොටම එකපාරටම අමුතු සද්දයක් ඇහුනා . බයිසිකලයක් පෙරළෙනවා වගේ තමයි ඇහුනේ . මම හිටියේ බස් එකේ පිටිපස්සේ වම් පැත්තේ . දකුණු පැත්තේ අයිනේ හිටපු මනුස්සයා කෑගහලා කිව්වා හැප්පුනා හැප්පුනා කියලා . ඒ එක්කම පිටිපස්සේ වීදුරුවෙන් දැක්කා ස්කූටියක් එක්ක ගෑනු කෙනෙක් පෙරළෙනවා .

හැබැයි බස් එකේ ඩ්‍රයිවර් මේක දැක්කා හෝ නැතා හෝ බස් එක නැවැත්තුවේ නැහැ . මීටර් 200 ක් විතර ගියාට පස්සේ මිනිස්සු කෑගැහුවා නවත්තන්න නවත්තන්න කියලා . මිනිස්සු කෑගැහුවේ ඩ්‍රයිවර් ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නිසා . ඊට පස්සේ ඩ්‍රයිවර් බස් එක අයින් කරලා නවත්තලා බැහැලා යන ගමන් කිය කිය ගියා හැප්පුනේ නැහැ හැප්පුනේ නැහැ . නිකං පෙරළෙන්න ඇත්තේ , මම බස් බස් එක එතනින් පාස් වෙන වෙලාවේ බලාගෙන බස් එක ගත්තේ කියලා .

කොහොම නමුත් බස් එකේ අයත් ඒ පස්සෙන් ගියා බලන්න . බලනකොට L බෝඩ් ගහගෙන ඉන්න ස්කූටි ලේඩි කෙනෙක් . දණහිස් තුවාල වෙලා බයිසිකලේ ඩැමේජ් වෙලා තිබුණා වැටිච්ච පාරට . දැන් ඉතින් පොලිසියත් ආවා . අර ගෑනු කෙනා කියන්නෙම අනේ අලුතෙන් ගත්ත වාහනේ කියලාමයි . වෙන මොකවත් කියන්නේ නැහැ ඒකමයි කියන්නේ .

බස් එකේ අයිනේ හිටපු කෙනා ඒ වෙලාවේ කිව්වා හැප්පුනේ නැහැ බස් එක අයිනෙන් ගෑවී නොගෑවී ගියේ . ඒ නිසා බස් එකේ හුළං පාරට වාහනේ පෙරලුනේ කියලා . කොහොමහරි ඩ්‍රයිවරුත් බය නැතුව කිව්වා අපි පොලිසි යන් . ගොඩින් බේරන්න දෙයක් නැහැ . හැප්පුනේ නැහැ කියලා .

ඇත්තටම බස් එක ආව වේගයට හැප්පුනා නම් ඒ ගෑනු කෙනාගේ කෑලි තවමත් අහුලන සයිස් එකකට වේගෙන් තමයි ආවේ . බස් එකේ ගෑවුණු බවක් වත් සීරුණු තැනක් වත් තිබ්බේ නැහැ . අන්තිමට ඩ්‍රයිවර් කැමැත්තෙන් ම පොලිසි ගියා බස් එකත් අරගෙන . ගෑණු කෙනාත් යන්න ගියා . බස් එකේ ආව අයට යන එන මං නැති වුණා .

මම ඉතින් රත්නපුරේට එන්න තව පොඩ්ඩ දුර නිසා ඇහැලියගොඩ රත්නපුර බස් එකක නැගලා එන්න ආවා . මම ඉඳගත්ත සීට් එකේ අයිනේ ටිකක් වැදගත් තාලෙට ඇඳගත්ත කෙනෙක් හිටියා . එවෙලේ එයාට කෝල් එකක් ආවා . අන්න ඒ කෝල් එක තමයි කෝල් එක . බලෙන් අහගෙන හිටියේ නැහැ . ඒත් ඇහුණ දේ නිසා සමාජය ගැන හරිම කලකිරීමක් ඇතිවුණේ . අර පඩියට දුවන ඩ්‍රයිවර් හිර කරන්න ඒ මිනිස්සු කරන දේවල් මොන තරම් චාටර් ද කියලා හිතුනා ඒ වෙලාවේ .

ඒ හැප්පුණු ගෑණු කෙනා හොඳට දන්නා විදියට තමයි ඒ පිරිමි කෙනා කතා කරේ . මුලින්ම බෙහෙත් දාගත්තද අහලා ඊට පස්සේ ඩ්‍රයිවර් මොකද කිව්වේ කියලා ඇහුවා . ඊට ටිකකට පස්සේ ඒ කෙනා බනින්න ගත්තා .

" ඔයා මොකටද ok වෙන්න ගියේ . හෙට අපි හම්බෙමු . හම්බෙලා කියන්න කතාවක් හදාගමු . එතකොට ඕක තව හිර කරන්න පුළුවන් "

නැවත නැවතත් ඒ කෙනා කිව්වේ " එහෙම නෙවෙයි අපි පොලිසියේදී කියන්න කතාවක් හදාගමු . ඕවා කියන්න එපා එතන ගිහින් " කියලා .

ඇත්තටම එයාලා ප්ලෑන් කරේ ඩ්‍රයිවර්ව හිර කරන්න . ඒ ගෑණු කෙනා පිලිගන්නවා හැප්පුනේ නැහැ ගෑවී නොගෑවී ගිය නිසා හුලං පාරේ සැරට තමයි පෙරළුණේ කියලා . ඒත් උපදෙස් දෙන කෙනා හදන්නෙම මේ ප්‍රශ්නය හිර කරන්න .

මමනම් හිතන්නේ නැහැ ඩ්‍රයිවර් ට ප්‍රශ්නයක් වෙන්න ඇති කියලා . මොකද ඒ වෙලාවෙත් කෙනෙක් කිව්වා හැප්පුනේ නැහැ මේක බස් එක ළඟින්ම යනකොට පෙරළුනා විතරයි කියලා කියලා . ඇත්තටම මට වුණත් හැප්පෙන සද්දයක් ඇහුනේ නැහැ . පෙරළෙන සද්දයක් තමයි ඇහුනේ . බයිසිකලේටත් හානි තියෙන්නේ වැටුණ නිසා ඇතිවුණ සීරීම් වගේ දේවල් විතරයි . හැප්පුනා නම් තැලිලා කෑලි ගැළවිලා විසි වෙනවා .

ඔන්න ඔහොමයි මිනිස්සුන්ගේ තත්වය . ඇඳුමට විතරයි වැදගත් කම . මම කල්පනා කරේ මේ මිනිස්සුද මේ සමාජයේ වැදගත් කියලා පේන්න ඉන්නේ කියලා .

මුලින්ම කියන්න ඕන දෙයක් තමයි වාහනයක් අරගෙන පාරට බහිනවානම් ලෝකෙම ඔලුවේ තියාගෙන පාරට බහින්න එපා . සමහරවිට තමන්ගේ අත්වැරැද්ද නිසා තමයි ඔයවගේ අනතුරු වෙන්නේ .

ඊළඟ කාරනාව තමයි හැමවෙලේම සාධාරණ වෙන්න . හොරකමෙන් ජීවත් වෙන මනුස්සයාට කවදාවත් හෘද සාක්ෂියෙන් ගැළවෙන්න බැහැ . ඒ නිසා සාධාරණව තීරණ ගන්න . අපි අවට ඉන්න අය මොනවා කිව්වත් තමන්ට ශක්තියක් තියෙන්න ඕන ගන්න තීරණය හරි නම් ඒ තීරණයේ ම ඉන්න . එදා මම ඔය සිද්දියෙන් පස්සේ ගෙදර එන්න නැග්ග ඇහැලියගොඩ ඉඳලා රත්නපුරේ ආව බස් එකේ මෙන්න මේ ගීතය ඇහුනා .

රන් හිරු මඬලින් සිහිලස අයදිනවා
පුන් සඳ පහනින් උණුසුම අයදිනවා
ලෝකය බිහිවූ දා සිට අරුමෙකි මිනිසා
ගිරි හිස ඉඳුවර සොයමින් ළතැවෙනවා ...

සයුරේ පැන් තොට සොයමින් වැලපෙනවා
කතරේ කෙම් බිම දකිමින් රැවටෙනවා
සයුරේ පැන් තොට සොයමින් වැලපෙනවා
කතරේ කෙම් බිම දකිමින් රැවටෙනවා
දිළිසෙන දිය රැළි මාලා
නෙත පුරවා නෙක මායා
මිනිසුන් හැමදා සිහිනෙක සැතපෙනවා

ගමනේ මං පෙත දවසක නිම වෙනවා
ලද දේ කළ කී දේ හිත හඬවනවා
ගමනේ මං පෙත දවසක නිම වෙනවා
ලද දේ කළ කී දේ හිත හඬවනවා
නිවැරදි හැම සඟවාලා
වරදට මල් දම් දාලා
රකුසන් පුද දී මිනිසුන් සැනසෙනවා

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - බන්දුල නානායක්කාරවසම්
තනුව - රෝහණ වීරසිංහ

මම එනගමන් ඕකට අන්තිමට " ගිරිහිස ඉඳුවර සොයමින් ලතවෙනවා " කියන කොටසට " ඇක්සිඩන්ට් වෙලා වන්දිත් ඉල්ලනවා " කියලා හිත හිත මම තනියම හිනා වෙවී ආවේ . කොහොම උනත් සාධාරණය ජයගන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා .



ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !!
By : prabhashwara

No comments:

Powered by Blogger.