ශාපය


ශ්‍රී ලංකාවේ දේශපාලනික වතාවරණය සහ දේශපාලනික සංසිද්ධින්, දිනෙන් දින සංකීර්ණ වෙමින් පවතියි. මානුෂීය මෙහෙයුමේ සේනාධි නායකයා වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රතිවාදියා ලෙස යුද්ධ හමුදාව භාරව සිටි සරත් ෆොන්සේකා 2010 ජනාධිපතිවරණයට ඉදිරිපත්විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා වූ මෛත්‍රිපාල සිරිසේන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රතිවාදියා ලෙස 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත්විය. කිසිවෙක් නොසිතූ ලෙස 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරාජයට පත්විය. 2015 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ රජය පරාජයවීම, ශ්‍රී ලාංකීය දේශපාලනික ඉතිහාසයේ තවත් දැවැන්ත සංධිස්ථානයක් විය.

ප්‍රථම වතාවට එක්සත් ජනතා නිදහස් සංධානය සහ එක්සත් ජාතික පක්ෂය, එකට එක්ව, අත්වැල් බැදගනිමින්, ජාතික ආණ්ඩුවක් නිර්මාණය කළ අතර එක්සත් ජනතා නිදහස් සංධානය තුළ පිපිරීමක් ඇති විය. ඒකාබද්ධ විපක්ෂය හෙවත් පොදු ජන පෙරමුණ යනු එහි ප්‍රතිපලයයි. ඉන්පසුව ජාතික ආණ්ඩුවෙන්, පක්ෂ දෙකම ඉවත්විය. 2001 / 2002 කාලයේදී, රනිල් වික්‍රමසිංහ විසින් හොර රහසේ අත්සන් තැබුනු සටන් විරාම ගිවිසුම සිහිපත් කරමින්, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් තමන්ගෙම ප්‍රතිවාදියා වූ මහින්ද රාජපක්ෂව, හොර රහසේම අගමැති තනතුරේ පිහිටුවමින්, තමන්ගේ සමීපතමයා වූ රනිල් වික්‍රමසිංහව අගමැති තනතුරෙන් නෙරපන ලදී. එපමණක් නොව නිළ ලත් සහ නිළ නොලත් ලෙස අගමැතිවරු දෙදෙනෙක්, එකම දිනක බිහිවිය.

ඉතා කෙටි කලකට පසු මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් නැවතත් රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති තනතුරේ පිහිටුවා, මහින්ද රාජපක්ෂ මහතාව විපක්ෂ නායක ලෙස පත් කරන ලදී.

මේ මෑතකාලීන සිදුවීම් කිහිපයක් සදහා උදාහරණ වන අතර තවත් මෙවැනි දැවැන්ත සිදුවීම් රාශියක් ඇත. ඒවා එතෙක් මෙතෙක් නොවූ විරූ පරිවර්තනයන්ය. ගත වන සෑම තත්පරයක්ම එකතුවන්නේ ඉතිහාසයටය. අතීතය සහ වර්තමානය අනුව ශ්‍රී ලාංකීය දේශපාලනයේ අනාගතය, තවත් සංකීර්ණ වනු ඇත. එබැවින් අනාගතයේ දේශපාලන විද්‍යාව සහ ශ්‍රී ලංකා ඉතිහාසය ඉගෙන ගැනීමට නියමිත පාසල් සහ විශ්වවිද්‍යාල ළමුන් පිළිබදව ඇත්තේ කණගාටුවකි. ඒ සෑම අයෙක්ටම, මෙම සංකීර්ණ දේශපාලන ඉතිහාස කතාව පිළිබදව ඉගෙනීමට සිදුවෙයි. මතක ශක්තිය වැඩි කර ගැනීමට සිදුවෙයි. නිදි මැරීමට සිදුවෙයි. කට පාඩම් කිරීමට සිදුවෙයි. නම්, ගම්, වර්ෂ, දින, වකවානු, අණ පණත් ස්මරණය කිරීමට සිදුවෙයි. විභාග ප්‍රශ්න පත්‍ර සදහා පිළිතුරු ලිවීමට සිදුවෙයි. තව තවත් වෙහෙසීමට සිදුවෙයි. ඔවුන්ට වර්තමාන ශ්‍රී ලාංකීය දේශපාලන ඉතිහාස කතාව නීරස විය හැක. එපා විය හැක. ඔවුන් හරි පව් ය.

මේ ඉතිහාස කතාව, ලිහාගත නොහැකි නූල් බෝලයක් තරමටම, මතක තබා ගැනීමට සහ පාඩම් කිරීමට නොහැකි තත්වයක් වන තුරුම සංකීර්ණ කර, අනාගතයේ පාසල් / විශ්වවිද්‍යාල දේශපාලන විද්‍යා සහ ඉතිහාස විෂය නිර්දේශයන් තව තවත් සංකීර්ණ කර, දිග් ගැස්සූ අප රටේ වර්තමානයේ සිටින දේශපාලඥයන් හට මෙන්ම, ඔවුන් එය සංකීර්ණ කරනවා දැක දැකත් නිහඩව බලා සිටි රටේ සාමාන්‍ය පුරවැසියන් වන අපටද, අනාගතයේ ඉතිහාසය විෂය සහ දේශපාලන විද්‍යාව ඉගෙන ගන්නා ළමුන් නිසැකවම ශාප කරනු ඇත !
By : Danula

No comments:

Powered by Blogger.