තුන්වන සිල් පදය


ඉස්සර ප්‍රාථමික අංශයේ ඉන්න කාලයේ චිත්‍ර තරගවලට චිත්‍ර යවනකොට, අයදුම්පතේ තියෙන "පාසලේ ප්‍රධානාචාර්යවරයාගේ අත්සන සහ නිළ මුද්‍රාව" කියන කොටස සම්පූර්ණ කරගන්න, හැමතිස්සෙම ප්‍රාථමික අංශයේ ප්‍රධානාචාර්යතුමියගේ කාර්යාලයට චිත්‍රයත් උස්සගෙන මම යනවා. 4 වසරෙ ඉන්නකොට 2002 අවුරුද්දෙ එක දවසක් එහෙම යනකොට, කාර්යාලය ඇතුළෙ ලොකු නඩුවක් අහනවා.

ළමයි දෙන්නෙක් හොඳටම ගහගෙන. දෙන්නගෙම ඇදුම් ගන්න දෙයක් නෑ. කමිස ඉරිලා. බොත්තම් ගැලවිලා. මඩ ගෑවිලා. ඒ වෙලාවෙ ප්‍රාථමික අංශයේ ප්‍රධානාචාර්යතුමිය නොහොත් ජේ.ඩී.ඒ.රණසිංහ මැඩම් (ලොකු මැඩම්), මේ ළමයි දෙන්නට "හොද ළමයින්ගෙ ලක්ෂණ" ගැන අවවාද කර කර හිටියා. මමත් ඉතින් පැත්තකට වෙලා හිටියා නඩුව ඉවර වෙනකන්. අවවාද කරලා කිව්වා "ඔයාලා පන්සිල් පද පිළිපදින්න ඕන. හොද ළමයි වෙන්න නම් ඒවා ඉගෙන ගන්න ඕන" කියලා.

ඊට පස්සෙ රණ්සිංහ මැඩම් පන්සිල් පද ගැන ඒ ළමයින්ගෙන් ප්‍රශ්න කළා. "මොකක්ද පළවෙනි පන්සිල් පදය? දෙවෙනි පන්සිල් පදය දන්නවද? මොකක්ද ඒකෙ තේරුම?" ඔන්න ඔය වගේ.... ඒත් කියන්න දුකයි, ඒ ළමයි දෙන්නා ඒ එක ප්‍රශ්නයකටවත්, අඩුගානෙ වැරදි හෝ කනා උත්තරයක්වත් දුන්නෙ නෑ.

ඊට පස්සෙ මැඩම් මගේ දිහාවට හැරුණා. "පුතා දන්නවද පන්සිල් පද? කියන්න බලන්න පළවෙනි පන්සිල් පදය මොකක්ද කියලා?". මමත් ඉතින් ඒක පාලියෙන් කිව්වා. "හරි මොකක්ද ඒකෙ තේරුම" මැඩම් ආයිත් ප්‍රශ්නයක් ඇහුවා. "මම සතුන් නොමරමි".

"බොහොම හොදයි. අන්න පේනවා නේද? හොද ළමයි, පන්සිල් පද ගැන දන්නවා. මොකක්ද පුතා හතරවෙනි සිල් පදය?". මම ඉතින් හතරවෙනි සිල් පදයත් පාලියෙන් කිව්වා. ඊට පස්සෙ මැඩම් ඇහුවා "මොකක්ද ඒකෙ තේරුම?" කියලා. "මම බොරු නොකියමි" කියලා කියනවත් එක්කම "කවුද පුතාගෙ පන්තිභාර මැඩම්. හොදට උගන්නලා තියෙනවා. මැඩම් කොච්චර හොදද? එහෙනං කියන්න බලන්න පස්වෙනි සිල් පදයයි, දෙවෙනි සිල් පදයයි" කියලා රණසිංහ මැඩම් කිව්වා. මමත් ඉතින් සුපුරුදු විදිහටම ඒවායේ පාලි සහ සිංහල තේරුම් කිව්වා.

"මොකක්ද පුතා තුන්වෙනි සිල් පදය?". රණසිංහ මැඩම්ගෙන් ආයිත් විධානයක්. මමත් ඉතින් ඒක පාලියෙන් කිව්වා. "මොකක්ද ඒකෙ තේරුම?". රණසිංහ මැඩම් අහපි. තේරුම දන්නෙ නැති නිසා මම ටික වෙලාවක් සද්ධ නැතුව හිටියා. "පුතා තේරුම දන්නෙ නැද්ද? ආහ්?" කියලා රණසිංහ මැඩම් අහනකොට, මම ඒකෙ තේරුම මතක් කරන්න උත්සාහ කළා. ඒත් අවුරුදු 9ක ජීවිත කාලයේ ඒ සිල් පදයේ විතරක් තේරුම ඉගෙනගෙන නෑ. කවුරුත් කියලා දීලත් නෑ.

"මොකක්ද පුතා ඒකෙ තේරුම? පුතා දන්නෙ නැද්ද?" කියලා මැඩම් කිහිප විටක්ම මගෙන් ඇහුවා. උත්සාහ කරලා කරලා, බැරිම තැන මම කිව්වා "දන්නෙ නෑ" කියලා. "ආහ් ඒකට කමක් නෑ" කියලා රණසිංහ මැඩම් මට ගොඩාක් ප්‍රශංසා කළා, අහපු අනිත් ප්‍රශ්නවලට හොඳට උත්තර දුන්න නිසා. ඒ වගේම අර ළමයි දෙන්නටත්, මාව ආදර්ශයට අරගන්න කියලා කිව්වා.

"මොකක්ද මැඩම් ඒකෙ තේරුම?". දැන් මම මැඩම්ගෙන් ප්‍රශ්න කරන වාරයයි. ඒක අහනවත් එක්කම මගේ අතේ තිබ්බ චිත්‍රය ඇදලා අරගෙන අත්සන් කරලා, මුද්‍රාව ගහලා, "පුතා ඒක පුතාගෙ පන්තිභාර මැඩම්ගෙන් අහන්නකො" කියලා, මාව එසැණින් කාර්යාලයෙන් පිටත් කරලා ඇරියා.

Facebook එකේ මේ පින්තූරය දැක්කම තමයි, මට ඒ පරණ සිද්ධිය මතක් වුණේ...
By : Danula

No comments:

Powered by Blogger.