විශිෂ්ටයින් අතරේ විශිෂ්ඨයෙක්


2011 අවුරුද්දේ ස්වාධීන රූපවාහිනී නාලිකාවේ ගියපු "වෙනස" වැඩසටහනෙදි පෙන්නුවා පොළොන්නරු ගල් විහාරයේ ආකෘතිය සහ පරිමාවන් යොදාගෙන නිර්මාණය කරපු අලුත් ගල් විහාරයක්. ඒ ගල් විහාරය තියෙන්නෙ දෙහිවල. ඒත් වැඩසටහනෙන් ගමන් මග ගැන කිව්වෙ නැති නිසා, ඒ කාලේ Facebook එකේ තිබුණු සක්‍රීය Group එකක් වන "ඉතිහාසයේ මිහිර" Group එකට මම ඒ ප්‍රශ්නය යොමු කළා.

ඒ ප්‍රශ්නයට උත්තරය දීපු එකම කෙනා වුණේ ජගත් සර් විතරයි. ටක්කෙටම යන පාර විස්තර කරලා තිබ්බා. පස්සෙ ඉතින් ජගත් සර්ගේ මාර්ගෝපදේශන අනුව අපි දවසක් ඒ පන්සල බලන්න ගියා. ඒ වගේම පින්තූරත් සෑහෙන ප්‍රමාණයක් ගත්තා.

ඒ ගත්ත පින්තූර කොච්චර සාර්ථක වුණාද කිව්වොත්, අදටත් Facebook එකේ එක එක Facebook Page කරන අය, ඒ පින්තූර අරගෙන එක එක Posts හදනවා දකිනවා. ඒ විතරක් නම් කමක් නෑ කියමුකො. දවසක් තුම්මුල්ල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයට ගිහින් පොත් තෝර තොර ඉන්නකොට, මෙන්න බොලේ දෙහිවල ගල් විහාරෙ මම ගත්ත පින්තූරයක් පොතක මුල් කවරයකට දාපු පොතක් අහුවෙච්චි.

ජගත් සර් කියන්නෙ අවිවාදයෙන්ම අපේ රටේ ජාතික සම්පතක්. ඒත් දෙහිවල ගල් විහාරෙට යන පාර කියපු එක තමයි ජගත් සර් ගැන මට තියෙන සුවිශේෂී මතකය සහ විශේෂත්වය. ඒ මතකය සහ සුවිශේෂත්වය අලුත් කරමින් ඔන්න අද ජගත් සර් අපේ eLearning.lk Studio එකට ආවා.

අද රටේ මොන තැනක හිටියත්, කොච්චර ජනාධිපති සම්මාන ලැබුනත්, මහාචාර්ය පදවි ලැබුවත්, කොයි තරම් තනාන්තර දැරුවත්, බොහොම මිත්‍රශීලී සහ නිහතමානී චරිතයක්. තව විශේෂ දෙයකුත් කියන්න ඕන. ජගත් ගුණවර්ධන කිව්වම හුග දෙනෙක්ට මතක් වෙන්නෙ පරිසරවේදියෙක්ව. එහෙම නැත්නම් නීතීඥවරයෙක්ව. ඒත් නැත්නම් ගුරුවරයෙක්, දේශකයෙක්, කථිකාචාර්යවරයෙක්, සමාජ ක්‍රියාකාරීවරයෙක්, උපදේශකවරයෙක්, ලේඛකයෙක්, ගවේෂකයෙක්, පර්යේෂකවරයෙක් ආදී වශයෙන්. ඒත් ඔහු තුළ දක්ෂ චිත්‍ර ශිල්පියෙකුත් ඉන්නවා කියලා හුගක් අය දන්නෙ නෑ.

ඔයාලට පුලුවන් ජගත් ගුණවර්ධන මහතාගේ Facebook චිත්‍ර පිටුවත් එක්ක, මෙතනින් එකතුවෙන්න - https://www.facebook.com/Jagath-Gunawardana-Artwork-676689699096657
By : Danula

No comments:

Powered by Blogger.