මේකත් Plan එකේම කොටසක්



1999 අවුරුද්දෙ ඉදලා 2012 විතර වෙනකන් මගේ එදිනෙදා කාලසටහනේ තිබ්බ අනිවාර්ය දෙයක් තමයි අඩුම රූපවාහිනී නාලිකා දෙකකවත් ප්‍රවෘත්ති බලන එක. ඒ වගේම සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන, අඩුම සති අන්ත පත්තර තුනක්වත් කියවන එක. ඒ විතරක් නෙවේ, තුලාව, රතු ඉර, ජන හඬ එකී මෙකී නොකී අකී නම් වලින් තිබ්බ ඒක පාර්ශවීය, සංවාදාත්මක හෝ විවාදාත්මක දේශපාලන සාකච්ඡාමය වැඩසටහන් නරඹන එක.

ඒත් 2012න් පස්සෙ මේ ඔක්කොම දේවල් නතර වුණා...... ඒ, ලංකාවේ දේශපාලනය කියන මාතෘකාව නීරස වෙන්න ගත්ත නිසයි. ඒකත් එක පාරටම වුණු දෙයක් නෙවේ. කාලයත් එක්ක ටික ටික වුණු දෙයක්.

මම විතරක් නෙවේ....... මෑතකාලීන තරුණ ප්‍රජාවෙන් වැඩි දෙනෙක්ට, ලංකාවේ දේශපාලනය කියන මාතෘකාව හරිම නීරස විෂයක්. ඒ නිසා ගොඩක් අය ඒ ගැන හොයන්න බලන්න, ගවේෂණය කරන්න, අධ්‍යනය කරන්න, යාවත්කාලීන වෙන්න, සාකච්ඡා කරන්න පෙළඹුනේ නෑ. යාලුවො යාලුවො Set වුණාම වුණත්, දේශපාලනය කියන වචනයේ..... "දේශ" කියන අකුරු දෙක ඇහෙනකොටම, "අපෝ මචන්, ඔව්වා නම් කතා කරන්න එපා. වස අප්පිරියයි. වමනෙ යන්න එනෝ" කියලා උත්තර එනවා.

මේ සක්කිලි බල්ලො ඔක්කොම එකතු වෙලා, දේශපාලනය කියන වචනය.... අපේ රටේ තරුණ පරපුරට, හිතාමතාම එපා කෙරෙව්වා කියලයි දැන් නම් හිතෙන්නෙ (මේකත් Plan එකේම කොටසක්).

වර්තමාන අරගලයට පෙරමුණ ගත්තෙ, නායකත්වය ගත්තෙ, මෙහෙයවන්නෙ සහ දියාරු වෙන්න නොදී අල්ලන් ඉන්න අයගෙන් බහුතරය අපේ රටේ තරුණ තරුණියන්. රටේ තරුණ පරපුර ලංකා දේශපාලනය ගැන අවධානයෙන් හිටියා නම්, මේ අරගලය ආරම්භ වෙන්නෙ මාර්තු 31 වෙනිදට ගොඩාක් කලින්... 🤔

#උගත්_පාඩම්
By : Danula

No comments:

Powered by Blogger.