එයාලා කරන්නෙ එයාලගෙ Job එක?

එයාලා කරන්නෙ එයාලගෙ රස්සාව. එයාලට බනින්න එපා.

එහෙමද?

එහෙනං කියන්න තියෙන්නෙ මෙච්චරයි...

හොරා හොරකං කරන එකේ වැරැද්දක් නෑ. හොරකං කරන එක තමයි උගේ ජොබ් එක. මිනීමරුවා මිනී මරන එකේ වැරැද්දක් නෑ. මිනී මරන එක තමයි උගේ ජොබ් එක. කුඩුකාරයා... කුඩු බෙදන එක තමයි උගේ ජොබ් එක.

ජොබ් එක කරන්නෙ හිතට එකග නැතුව නම්, ජොබ් එකෙන් අයින් වෙලා යන්න පුලුවන්. මොකද බලෙන් අඩගහලා දුන්නැයි?

යුද්ධය තියෙනකොට එයාලා කරන්නෙ Job එක කියලා අපි හිතුවෙ නෑ. අපි එයාලට ලේ දුන්නා. වියළි ආහාර යැව්වා. වතුර යැව්වා. අපි වෙනුවෙන් අපි අරමුදලට පුලුවන් තරම් සල්ලි දැම්මා. එයාලා එක්ක යුධ බිමේ ඉන්න බැරි වුණාට අපි හදවතින් එයාලා එක්ක යුධ බිමේ හිටියා. පෙළක් අවස්ථා තිබ්බා නා කපන වැසි වහිනකොට "අනේ උන් දැන් වැස්සෙ තෙමෙනවා ඇතිනේ" කියලා අපිටත් රෑට හරියට නින්ද ගියේ නැති. ඒ විතරද? අපි එයාලා වෙනුවෙන් බෝධි පූජා තිබ්බා. දළදා හාමුදුරුවන්ට, රුවන්වැලි සෑයට, විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධියට, සම්‍යක් දෘෂ්ඨික දෙව්වරුන්ට භාර හාර වුණා. පඩුරු ගැට ගැහුවා. පිරිත් කිව්වා. මිය ගිය අයටත් පිං දුන්නා.

යුද්ධය ඉවර කළාට දෙන්න ඕන ගෞරවය ඕනෑවටත් වඩා අපි දුන්නා. 8 පාස් ආමිකාරයා කියන තුච්ඡ සිතුවිල්ල අපේ මිනිස්සුන්ගේ ඔළුවලින් වාෂ්ප කරලා, රණවිරුවා කියන හරිම ආදරණීය සහ ගෞරවනීය වචනයක් අපි අරගෙන ආවා. හැබැයි ඒ ගෞරවය ආරක්ෂා කර ගන්න ආරක්ෂක අංශයට බැරි වුණා. තුවක්කුව දික් කළේ අහිංසක මිනිස්සුන්ගෙ පැත්තට. එහෙම ගත්තම මුල අමතක කාටද?

එයාලට බැරි වෙච්ච දේ තමයි අපේ මහ ජනතාව කළේ. එහෙම ගත්තම සිවිල් මිනිස්සු ආරක්ෂක අංශ වලට වඩා දක්ෂයි. සිවිල් මිනිහා හැප්පුනේ අතේ නියපොතු කපන Nail Cutter එකක්වත් නැතුවයි !


By : Danula

No comments:

Powered by Blogger.