මා eLearning.lkහි වහලෙක්ද?


"උඹේ Facebook එක බැලුවොත් eLearning.lkමයි"

"eLearning.lk එකටම ලිපි ලිය ලිය ඉදපන්. කවද්ද උඹ උඹේ බ්ලොග් එකකට අන්තිමටම ලිපියක් දැම්මෙ?"

"Job එකට වැඩ කරන්න ඕන. නමුත් ඒක ජීවිතේ කරගන්න එපා"

"මූ කොයි වෙලාවෙ බැලුවත් eLearning.lk එකටමයි දෙන්නෙ"

"අන්තිමට ඉතුරු වෙන්නෙ අනිත් අය හූරන් කාපු මතකය විතරයි"

"තමන්ගෙ විනෝදාංශ වෙනම පැත්තකින් කරගෙන යන්න. කවදා හරි රස්සාවෙන් එළියට දාද්දි කියන්නෙ කරපුවට පඩි ගෙව්වා කියලා විතරයි"

"ලෝකෙ ඔය පේන තරම් සුන්දර නෑ. ඒක හින්දා පරිස්සමෙන්"



මේ, මම eLearning.lk ආයතනයට සම්බන්ධ වුණු දවසෙ ඉදලා අද වෙනකන් සමහරක් අය මට Facebook සහ WhatsApp වලින් එවපු පණිවිඩ වලින් අහඹු ලෙස තෝර ගත්ත කිහිපයක්.

මම දවසේ පැය 24ම මගේ සමාජ ජාලා ගිණුම් වල eLearning.lk ආයතනයේ සහ ආයතනයට සම්බන්ධ එක එක විදිහේ පල කිරීම් Share කිරීමත්, ගොඩක් අවස්ථා වලදී eLearning.lk ආයතනයට ලිපි සහ පිටපත් සම්පාදනය කරලා දීමත්, eLearning.lk ආයතනයේ සමහරක් වැඩ කටයුතු නිසා ඇති වෙන කාර්යබහුලත්වය නිසා සමහරක් අවස්ථා වලදී, සමහරක් අයගේ දුරකතන ඇමතුම් අතපසු වීමත්, මේ වගේ චෝදනා එල්ල වෙන්න බලපාපු හේතු විදිහට දක්වන්න පුලුවන්.

එළියෙ ඉදලා බැලුවම නම් මේ චෝදනා වල ඇත්තක් නැත්තෙමත් නෑ. ඒත් මේ සිද්ධි සහ ක්‍රියාවන් ගැන ටිකක් ඇතුළට කිදා බැහැලා බැලුවොත්? එහෙමත් නැත්නම් අතීත, වර්තමාන සහ අනාගත කාල එක්ක ගැලපුවොත්? ....... මේ ඔක්කොම හිස් චෝදනා. ඉතින් අන්තිමේදි මගේ නීතීඥවරයා විදිහට මමම ඉදිරිපත් වෙලා, මේ හැම කෙනෙක්ගෙම වැරදි අනවබෝධය ප්‍රසිද්ධියේම දුරු කරන්න තීරණය කළා.



චෝදනා අංක 01 : සෑම විටම eLearning.lkහි පල කිරීම් Share කිරීම

මුහුණු පොත, එහෙමත් නැත්නම් Facebook එක.... Facebook ​එක නිර්මාණය වුණේ සන්නිවේදන මාධ්‍යක් විදිහටයි. ඒත් මේ අරුම පුදුම සන්නිවේදන මාධ්‍යය, අද වෙනකොට එක එක අය, එක එක විදිහට භාවිතා කරන්න පුරුදුවෙලා ඉන්නවා. සමහරු විනෝද වෙන්නත්, තවත් සමහරු දැනුම හුවමාරු කර ගන්නත්, තවත් සමහරු මිතුදම් ශක්තිමත් කර ගන්නත්, තවත් සමහරු විවේක සුවය පිණිසත් භාවිතා කරන අතරේ, Facebook එක ප්‍රකාශන මාධ්‍යක් විදිහටත් භාවිතා කරන අය නැතුවා නෙවේ.

මගේ මතකය හරි නම් මම පළවෙනි වතාවට Facebook එන්නෙ 2008 දෙසැම්බර් මාසයේ 07 වෙනිදා වගේ දවසක. ඒ දවස් වල Facebook කියන්නෙ අපිට හරි මැජික්. ඒ කාලෙ අන්තර්ජාල පහසුකම අද වගේ හැමෝටම තිබුණෙත් නෑ. Facebook වගේම අන්තර්ජාලයත් ඒ කාලෙ මම භාවිතා කළේ විනෝදය සහ රසස්වාදය වෙනුවෙන් විතරයි. ඒ කාලෙ අන්තර්ජාලය හරහා අනන්තවත් චිත්‍රපට බැලුවා. අනන්තවත් Online පරිගණක ක්‍රීඩා කළා. මගේ මුළු Facebook ගිණුමම වැඩකට නැති ගොන් විහිළු වලිනුයි, හිස් පල කිරීම් වලිනුයි පිරිලා ඉතිරිලා පිටාර ගලපු යුගයක් ඒක.

අවුරුදු දෙකක් විතර යනකොට, මම Facebook එකේ පල කරපු දේවල් ආයි ආයි කියවන කොට මට ආපු ප්‍රශ්නයක් තමයි "ඇත්තටම මම මොකක්ද මෙච්චර කාලයක් Facebook එකේ ඉදන් කරලා තියෙන්නෙ?" කියන ප්‍රශ්නය. ඇත්තටම මොකුත්ම කරලා නෑ. තමන්ට වැඩකුත් නෑ. අනුන්ට වැඩකුත් නෑ. ඊට පස්සෙ හිතුනා හැමෝටම වැඩක් තියෙන, ඒ කියන්නෙ හැමෝටම "දැනුමක්" ගන්න පුලුවන් පල කිරීම් Facebook එකේ Share කරන්න ඕන කියලා.

ඒකෙ ප්‍රතිපලයක් විදිහට තමයි 2010 අවුරුද්ද ආරම්භයේදී Buddhist Places In Sri Lanka ව්‍යාපෘතිය ආරම්භ වෙන්නෙ. ඒ කාලයේ පුලුවාන් තරම් මම කළේ අපේ රටේ බෞද්ධ ස්ථාන සහ සංස්කෘතිය ගැන මමම තැන් තැන් වලට ගිහින් අධ්‍යනය කරලා, කරුණු හොයලා, පින්තූර ගහලා, Facebook හරහා පල කරපු එකයි. ඒක තමයි අපේ රටේ පන්සල් සහ පූජනීය ස්ථාන ගැන Facebook එකේ ආරම්භ වුණු පළවෙනිම Facebook පිටුව. ඒක එදා ඉදලා අද වන තුරුත් අඛන්ඩව ක්‍රියාත්මකයි. ඊට පස්සෙ කාලයත් එක්කම මම තවත් ව්‍යාපෘති දෙකක් ආරම්භ කළා අභිධර්මය ගැන සහ මහා රාවණ සමය ගැන. ඒ ඇවිල්ලා අද වගේ මිනිස්සු රාවණ රජතුමා ගැන කතා කරන්න තියා, හිතලවත් නැති කාලෙක. ඊට පස්සෙ ලංකා ඉතිහාසයේ ප්‍රධාන සන්ධිස්ථාන ඉලක්ක කරගෙන විශාල පර්යේෂණාත්මක ව්‍යාපෘතියක් කළා. ඒවා ගැන හොයපු කරුණුත් මම සමාජය එක්ක බෙදා ගන්න භාවිතා කළේ Facebook එකමයි.

ඊට පස්සෙ මම මේ දැනුම කියන දේ පදනම් කර ගත්ත එක එක ව්‍යාපෘති බිහි කළා. ඒවායෙන් සමහරක් අදටත් තියෙනවා. සමහරක් අද වෙනකොට නෑ. ඒ හැම ව්‍යාපෘතියකම ප්‍රචාරණ කටයුතු කළේ Facebook හරහයි. හැම කෙනෙක්ටම ප්‍රයෝජනවත්, දැනුමක් ගන්න පුලුවන්, හරවත් දේවල් Facebook එකේ Share කරන්න පුරුදු වුණු නිසා, ඉස්සර කාලේ හැමතිස්සෙම Facebook එකේ කරපු හරසුන්, පුහු සහ හිස් දේවල් Share කිරීමේ පුරුද්ද ටික ටික මගෙන් ඈත් වෙලා ගියා. අද වෙන කොට මගේ Facebook ගිණුමේ මම කරන පල කිරීම් වලින් 95%කම තියෙන්නෙ ඕනෑම කෙනෙක්ට අංශු මාත්‍රයක හරි දැනුමක් ලබා ගන්න පුලුවන් පල කිරීමක්. කොටින්ම කිව්වොත් හේතුවක් සහ තේරුමක් ඇති පල කිරීමක්.

දැන් අපි eLearning.lk දිහාවට හැරෙමු. eLearning.lk කියන්නෙ 100%ක්ම දැනුම පදනම් කර ගත්ත ආයතනයක්. තව විදිහකින් කිව්වොත් දැනුම අරමුණු කරගෙන බිහි වුණු, දැනුමෙන් පෝෂණය වෙන, දැනුමෙන් යැපෙන, දැනුමෙන් උපයන, දැනුම බෙදන ආයතනයක්. eLearning.lk අපි හඳුන්වන්නෙ විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශයක් විදිහටයි. eLearning.lk ආයතනයේ ආදර්ශ පාඨය වෙන්නෙත් Learn anything, Teach anyone කියලයි. eLearning.lk ආයතනයටත් තියෙනවා Facebook පිටුවක්. ඒ වගේම YouTube Channel එකක් සහ Blog එකක්. මේවායෙත් පැය 24 පුරාවටම පල වෙන්නෙත් ඕනෑම කෙනෙක්ට දැනුමක් ලබා ගන්න පුලුවන්, අලුතෙන් යමක් ගැන ඉගෙන ගන්න පුලුවන් වෙන මාදිලියේ පල කිරීම්.

ඔන්න දැන් තමයි අවස්ථා සම්බන්ධය පැහැදිලි කරලා දෙන්න පුලුවන් වෙන්නෙ. ඉතින් මම කලින් සඳහන් කළානෙ හැම කෙනෙක්ටම දැනුමක් ලබා ගන්න පුලුවන් දෙයක් දැක්කොත්, ඒක Facebook එකේ පල කරන එක මගේ පුරුද්දක් කියලා. ආන්න ඒ නිසා තමයි eLearning.lk ආයතනයේ පල කිරීමුත්, මගේ Facebook ගිණුමෙ මම Share කරන්නෙ. ඒ, අනිත් අයගේ දැනුම වර්ධනය කිරීමේ නිර්ව්‍යාජ අරමුණෙන් මිසක් eLearning.lk ආයතනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්වත්, මම ඒ ආයතනයට සම්බන්ධ කෙනෙක් නිසාවත් නෙවේ.

මම මේ ආයතනයට සම්බන්ධ වෙන්න කලින් ඉදන්ම දැනුම කියන දේට සම්බන්ධ දේවල් Facebook ඔස්සේ පල කළේ යම් සේද, මම මේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න තාක් කල් දැනුම කියන දේට සම්බන්ධ දේවල් Facebook එකේ පල කරන්නේ යම් සේද, මම මේ ආයතනයෙන් ඉවත් වූ පසුවත්....... දැනුමට සම්බන්ධ දේවල් Facebook හරහා පල කිරීම එලෙසින්ම සිදු වේවි. ඒකෙ කිසිම සැකයක් නෑ. ඒ වගේම ඒ පල කිරීම් eLearning.lk ආයතනයේ ඒවාය, එහෙම නැත්නම් වෙනත් කෙනෙක්ගෙ ඒවාය, එහෙමත් නැත්නම් මගේම ඒවාය කියලා බෙදා වෙන් කරන්නත් බෑ. මොකද දැනුමට පංගු පේරුවක් නෑ. දැනුම කියන්නෙ අසීමාන්තික දෙයක්. මම eLearning.lk ආයතනයට සම්බන්ධ වෙන්න කලින් ඉදන්ම, eLearning.lk Facebook පිටුවේ පල කිරීම්, මගේ Facebook එකේ Share කළා.



චෝදනා අංක 02 : eLearning.lk ආයතනය වෙනුවෙන් පමණක් ලිපි සම්පාදනය කිරීම

මේ වෙනකොට මම ලිපි ලියන මගේම ස්ථාන කිහිපයක් තියෙනවා. දනාගේ පලා මල්ල, History of SL, Danula.me, යමින් එමින් ගමන්, Buddhist Places in Sri Lanka වගේ තැන් ගණනාවක්ම තියෙනවා. ඉතින් මේ බ්ලොග් සහ වෙබ් අඩවි එක්ක ඇත්තටම එකතු වෙලා ඉන්න කෙනෙක් නම් එයාට හොඳටම බලා ගන්න පුලුවන් මේ හැම ව්‍යාපෘතියක්ම තවමත් සක්‍රීය මට්ටමේ තියෙන වග.

මම eLearning.lk ආයතනයේ ප්‍රධාන වශයෙන්ම කටයුතු කරන්නේ තොරතුරු අධ්‍යක්ෂකවරයා විදිහටයි. තොරතුරු අධ්‍යක්ෂකවරයා වෙත පැවරෙන අසීමිත වූ වැඩ ලැයිස්තුවේ එක ක්‍රියාවක් තමයි ලිපි සහ තිර පිටපත් සම්පාදනය කිරීම. ඒ අනුව සතියකට කෙටි ලිපි හතකුත්, දීර්ඝ ලිපි දෙකකුත්, තිර පිටපත් එකකුත් ලිවීම මගේ රාජකාරියේ කොටසක්. ඉතින් කෙනෙක් තමන්ගේ රාජකාරිය හොඳට කරගෙන යන කොට, එහෙම කරන්න එපාය කීම අසාධාරණයි කියලා හිතෙන්නෙ නැද්ද? eLearning.lk ආයතනයට ලිපි ලිව්වත්, ඒ ලිපි ලියන්නෙත් මමම තමයි. eLearning.lk ආයතනයේ ලිපියක් අරගෙන බැලුවත් කතෘත්වය මගේ. අදහස් මගේ. රචනා ශෛලිය මගේ. කිසිම වෙනසක් නෑ. මගේ බ්ලොග් අඩවි වලට ඇවිත් මගේ ලිපි නොමිළයේ කියවනවා වගේම, මේ ලිපිත් ඔයාලට eLearning.lk Facebook පිටුව සහ eLearning.lk බ්ලොග් අඩවිය හරහා කිසිම මුදල් ගෙවීමකින් තොරව නොමිළයේ කියවීමේ අවස්ථාව තියෙනවා. එකම වෙනසකට තියෙන්නෙ මගේ බ්ලොග් අඩවි වල ලිපි පල කළාම මට ලැබෙන්නෙ ආත්ම තෘප්තිය විතරයි. ඒත් eLearning.lk ආයතනයේ බ්ලොග් අඩවියේ පල කළාම, ආත්ම තෘප්තියට අමතරව, ඒ වෙනුවෙන් යම් ගෙවීමක් මට ලැබෙනවා.

ඊට අමතරව තවත් විශේෂයෙන් කියන්න ඕන දෙයක් තියෙනවා. මේ ලෝකයේ සමහරක් අය ඉන්නවා තමන්ගේ රස්සාව නිසා ජීවිතය විදවන අය. ඒ වගේම සමහරක් අය ඉන්නවා ජීවිතය විඳින අය. මම ඇවිල්ලා රස්සාව නිසා ජීවිතය විඳින කෙනෙක්. හේතුව eLearning.lk ආයතනයේ තොරතුරු අධ්‍යක්ෂක ධූරයේ මට කරන්න තියෙන්නෙ මගේ පෞද්ගලික ජීවිතයේ කර කර හිටපු සහ කරන විනෝදාංශ. ඒ කියන්නෙ ලිපි ලිවීම, තිරපිටපත් ලිවීම, ලිපි කියවීම, වාර්තාමය වැඩසටහන් නැරඹීම, විවිධ මාතෘකා සම්බන්ධ ගවේෂණ සහ පරීක්ෂණ කිරීම, කෙටි සටහන් ලිවීම, තොරතුරු ලේඛන සම්පාදනය, භාෂා පරිවර්තන කටයුතු, සමාජ ජාලා ගිණුම් - බ්ලොග් අඩවි සහ වෙබ් අඩවි මෙහෙයවීම සහ තොරතුරු ඇතුළත් කිරීම, රූගත කිරීම්, වීඩියෝ සංස්කරණය කිරීම්, නිර්මාණ වලට සම්බන්ධ අදහස් සහ වැඩ සැලසුම් ඉදිරිපත් කිරීම් වගේ දේවල්.

ඉතින් තමන්ගෙ රැකියාව විදිහට, තමන්ගේ විනෝදාංශ ටික කරන්න ලැබෙනවා කියන්නෙත් එක්තරා විදිහක වාසනාවක්. මම රස්සාව කරන්නෙ හරිම ආසාවෙන්. හරිම සතුටෙන්. හරිම උනන්දුවෙන්. ඒ නිසා දවස ගෙවෙනවා දැනෙන්නෙ නෑ.

ආයිත් අපි මාතෘකාවට එනවා නම් eLearning.lk ආයතනයේ බ්ලොග් අඩවියේ මම ලියන සෑම ලිපියකම යටින් මගේ නම, ඡායාරූපයක් සහ මම ගැන විස්තරයක් ඇතුළත් වෙනවා. ඒ වගේම පිටපත් රචනය, අධ්‍යක්ෂණය, සංකල්ප ගොඩනැගීම, වීඩියෝකරණය, ශබ්ද පරිපාලනය, ආලෝකකරණය සහ වීඩියෝ සංස්කරණය යන සෑම අංශයක් ඔස්සේම මා දායකත්වය ලබා දෙන eLearning.lk YouTube Channel එකේ ප්‍රධාන වාර්තාමය වැඩසටහන් මාලාව අවසානයේදී මගේ නම සඳහන් වෙනවා.

මේ මම සේවය කරපු පළවෙනි ආයතනය නෙවේ. ඒ වගේම මම දැනට සේවය කරන එකම ආයතනයත් නෙවේ. Full-Time, Part-Time, Freelance ආදී වශයෙන් මම ආයතන කීයක සේවය කළාද සහ දැනටත් සේවය කරමින් ඉන්නවද කියලා, මගේ සමීපතයින් හොඳට දන්නවා. "ආයතනය අපෙන් සේවය ලබා ගන්නෙ කොහොමද? ඒ වගේ දෙගුණයක සේවයක් අපි ආයතනයෙන් ලබා ගන්න ඕන" කියලා මගේ පාඨයක් තියෙනවා. ඉතින් මේ අවුරුදු ගණනාවට මම ආයතනයේ සේවය කරන ගමන්, ඒ වගේ දෙගුණයක ශිල්පීය ඥාණයන්, අත්දැකීම්, එක එක අත්හදා බැලීම් සහ දැනුම ලබා ගත්තා. ඒ ඔස්සේ මම මගේම නිර්මාණ සහ වැඩසටහන් එළිදැක්වූවා. මේකට හොඳම උදාහරණයක් තමයි මගේ පුද්ගලික YouTube Channel එකේ නොකඩවා විකාශය වෙන සාකච්ඡාමය වැඩසටහන් සහ වාර්තාමය වැඩසටහන් මාලාව.



චෝදනා අංක 03 : දුරකතන ඇමතුම් වලට, කෙටි සහ සමාජ ජාල පණිවිඩ වලට ක්ෂණික ප්‍රතිචාර නොදැක්වීම

eLearning.lk කියන්නෙ දුරස්ථ අධ්‍යාපනය සහ අන්තර්ජාල අධ්‍යාපන ක්‍රමය ඉලක්ක කර ගත්ත ආයතනයක්. මේ ආයතනය අද ඊයේ නිර්මාණය වුණු එකක් නෙවේ. මේ ආයතනය නිර්මාණය වෙන්නෙ 2017 අවුරුද්දෙ. අද වෙනකොට මේ ආයතනය එක එක විදිහේ සේවාවන් සපයනවා.

ඉතින් අපේ රටෙත් එක පාරටම ආපු කොරෝනා වසංගත තත්වය සහ ඇඳිරි නීති නිසා අපේ රටේ ගොඩක් ගුරුවරු, ළමයි, ආයතන අන්තර්ජාල අධ්‍යාපන ක්‍රමයට අධික වේගයෙන් යොමු වුණා. ඒ යොමු වීම eLearning.lk ආයතනයට කදිම අවස්ථාවක් වුණා. ඒ නිසාම අපට බොහොම කෙටි කාලයකට, ඒ කදිම අවස්ථාව වෙනුවෙන් යම් කැප කිරීමක් කරන්න වුණා.

මොකද අපි 100%ක ඉල්ලුමකට සැපයුම දෙන්න සූදානම් වෙලා හිටියත්, අපි නොහිතපු විදිහට 1000%ක විතර ඉල්ලුමක් අපිට ඇවිත් තියෙනවා සහ එමින් තියෙනවා. තවත් සුළු කාලයක් ගියයින් පස්සෙ, ආයිත් ඔයාලට මම එක්ක ඉස්සර වගේම දුරකතන සහ අන්තර්ජාලය හරහා සම්බන්ධ වීමේ අවස්ථාව තියෙනවා.



අවසාන විනිශ්චය

ඉතින් ස්වාමීනී, චූදිතයාව නිදොස් කොට නිදහස් කරන්න පුලුවන් නේද?
By : Danula

2 comments:

  1. නිදොස් කොට නිදහස් කර සිදු ඌ අපහාස වලට වන්දියක්ද ලබාදිමට කටයුතු කරන්න ඕන✌️

    ReplyDelete

Powered by Blogger.